කල් දැමුණු ආසියානු ක්‍රීඩා උළෙලට අලුත් දිනවකවානු

ආසියානු ක්‍රීඩා උළෙල 2022

419

මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබී පසුව කල් දැමූ ආසියානු ක්‍රීඩා උළෙල 2023 වසරේ සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා පැවැත්වීමට සංවිධායකයින් සැලසුම් කර තිබෙනවා.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙල චීනයේ Hangzhou හිදී සැප්තැම්බර් මාසය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබුනත්, කොරෝනා වසංගතය නිසා එය කල් දැමීමට සිදු වුනා.

එම ක්‍රීඩා උළෙල කල් දැමීමෙන් පසුව ආසියානු ඔලිම්පික් කමිටුවට සහ Hangzhou සංවිධායක කමිටුවට ප්‍රධාන අභියෝගය වුනේ ප්‍රධාන පෙළේ තරගාවලි නොපැවැත්වෙන කාලසීමාවක් තරගාවලිය සඳහා වෙන්කර ගැනීමයි.

ඒ අනුව එම කමිටු ද්විත්වය සහ චීන ඔලිම්පික් කමිටුව සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව තරගාවලිය 2023 වසරේ සැප්තැම්බර් 23 සිට ඔක්තෝබර් 08 දක්වා පැවැත්වීමට තීරණය කළ බව ආසියානු ඔලිම්පික් කමිටුව නිවේදනය කළා.

ආසියානු ක්‍රීඩා උළෙල අවසන් වරට පැවැත්වුණේ 2018 වසරේ දී වන අතර මෙවර එය පැවැත්වීමට නියමිතව තිබුණේ 19 වැනි වරටයි.

එමෙන්ම ආසියානු ක්‍රීඩා උළෙලක් චීනයේ පැවැත්වෙන තෙවැනි අවස්ථාව මෙය වන අතර තරගාවලියට යොදා ගන්න ක්‍රීඩාංගණ මේ වන විට ඉදි කර අවසන් වීම ද විශේෂත්වයක්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<