T20 ලෝක කුසලානයේ අපේ ක්‍රීඩිකාවෝ

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය 2023

559
Sri Lanka Review

8 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ගමන ඉකුත් දා (19) රාත්‍රියේ දී නිමා වුනා.

තරගාවලියේ 17 වැනි තරගය ලෙසින් පැවති ශ්‍රී ලංකා – නවසීලන්ත තරගයේ දී ලකුණු 102ක දැවැන්ත පරාජයක් ද හිමිකර ගනිමිනුයි ඔවුන්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුනේ.

මෙවර ලෝක කුසලානය සඳහා A කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඔවුන් සහභාගී වූ තරග 4 නිමා කරන්නේ ජයග්‍රාහී තරග 2ක් සහ පරාජිත තරග 2ක් ලෙසයි. මේ වන විට ද ක්‍රියාත්මක තරගාවලියේ මෙතෙක් ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකාව තමන් සහභාගී වූ කාණ්ඩයේ තෙවැනි අසුන හිමිකර ගෙන සිටිනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ගමන් මග
ප්‍රතිවාදීන් තරගයේ විසඳුම
1 දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට ලකුණු 3ක ජයග්‍රහණයක්.
2 බංග්ලාදේශය ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයග්‍රහණයක්.
3 ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාවට කඩුලු 10ක ජයග්‍රහණයක්.
4 නවසීලන්තය නවසීලන්තයට ලකුණු 102ක ජයග්‍රහණයක්.

ලෝක කුසලාන තරගාවලියට එක් වීමේ දී අනෙකුත් කණ්ඩායම් අතර ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරුණේ තවත් එක් කණ්ඩායමක් ලෙසින් පමණයි. එහි විශේෂත්වයක් තිබුණේ නම්, ඒ නායිකා චමරි අතපත්තු ගැන ම පමණයි.

නමුත් තරගාවලියේ මංගල තරගයේ දී සත්කාරක දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පෙරළිකාරී ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වීමත් සමඟින් එහි වෙනසක් සිදු වෙනවා. එතැන් සිට ශ්‍රී ලංකාව යනු ඕනෑම අවස්ථාවක නැගිටිය හැකි සටන්කාමී සහ ජවසම්පන්න කණ්ඩායමක් ලෙසයි විචාරක මතයට නැගෙන්නේ.

Chamari Athapatthuමේ තත්ත්වය තමන් මුහුණ දුන් දෙවැනි තරගයේ දී ද ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. එවර ප්‍රතිවාදීන් වූයේ බංග්ලාදේශයයි. ඒ වෙද්දී තමන්ගේ කාණ්ඩයේ පළමු අසුන වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් ව සිටියා.

එම තරගයෙන් තරගයකට පසුව පැවති නවසීලන්තය සහ සත්කාරක දකුණු අප්‍රිකාව අතර තරගයේ දී දකුණු අප්‍රිකාව නවසීලන්තයට එරෙහිව ලකුණු 65ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමඟින් ශ්‍රී ලංකාවේ ඇගයීම තවත් වැඩි වුනා. පාර එළිපෙහෙළි වෙන්නේ ශ්‍රී ලංකාවේ වාසියට බැව් මුවින් මුවඟ කියැ වුනා. ක්‍රීඩා මාධ්‍ය පවා එවැන්නක් විය හැකි බවට මත ඵල කළා.

ඒ ආකාරයෙන් එක් අතකින් අපේ ක්‍රීඩිකාවන් කෙරෙහි විශ්වාසය තැබෙද්දී, ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ද තව තවත් ශ්‍රී ලංකා කණ්ඩායම කෙරෙහි ඇඟෑළුම් කරන්නට වුනා. ක්‍රිකට් පාලකයන් ද ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන්ගේ ගෙවීම් නොසිතූ සේ ඉහළ දැමුවා. මේ සියලු දේ අපේ ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණය ම අරමුණු කරගනිමින් සිදු වූ බැව් ලියුම්කරුගේ විශ්වාසයයි.

අනතුරුව බංග්ලාදේශ ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකාව සහභාගී වෙන්නේ මෙතෙක් වැඩිම ලෝක කුසලාන ප්‍රමාණයක් මෙන් ම ආසන්නත ම ද්විත්ව වසරවල ශූරියන් වූ ඕස්ට්‍රේලියාව සමඟයි. ඒ වෙද්දී ඕස්ට්‍රේලියාව නවසීලන්තයට එරෙහිව ලකුණු 97ක ජයග්‍රහණයක් සහ බංග්ලාදේශයට එරෙහිව කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා සිටියා.

මේ දත්ත සමඟින් ශ්‍රී ලංකාව සමඟ තරග බිමට පිවිසෙන ඔවුන් එම තරගයේ දී අපේ ක්‍රීඩිකාවන්ට එරෙහිව කඩුලු 10ක පහසු ජයග්‍රහණයක් වාර්තා කරනවා. එය මෙවර තරගාවලියේ මෙතෙක් එවැනි ප්‍රතිඵලයකින් නිමා වූ එක ම තරගය ලෙසින් ද ඉතිහාසයට එක් වෙනවා.

එම පරාජයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තීරණාත්මක නවසීලන්ත කණ්ඩායම සමඟ තරගයට එක් වෙනවා. ඒ වෙද්දී නවසීලන්තය ඕස්ට්‍රේලියාව වෙතින් ලකුණු 97ක පරාජයක් සහ දකුණු අප්‍රිකාව වෙතින් ලකුණු 65ක පරාජයක් ලබා සිටියා. එම පරාජයන්වල දී ඕස්ට්‍රේලියාව ඉදිරියේ ලකුණු 76කට ද සහ දකුණු අප්‍රිකාව ඉදිරියේ ලකුණු 67කට ද තම ඉනිම් නිමා කර ගනිමින් අන්ත අසරණ අඩියට ඔවුන් වැටී සිටියා.

නමුත් ඔවුන් ශ්‍රී ලංකාව සමඟ තරගයට පෙර අවසන් වරට සහභාගී වූ බංග්ලාදේශය සමඟ තරගයේ දී ලකුණු 71ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා. එම තරගයේ දී කඩුලු 3කට ලකුණු 189ක් ලබා ගන්නා ඔවුන් මෙතෙක් තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වාර්තා කිරීමට සමත් වෙනවා.

මෙම ඉනිමත් සමඟින් පෙර තරග 2 දී වූ පිතිකාරිණියන්ගේ පසුබැසීම වළක්වා ගනිමින් තීරණාත්මක තරගයට යහපත් මානසිකත්වයෙන් සහභාගී වීමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ ඉඩ සලසා ගත්තා.

එම තරගයේ දී නවසීලන්තයේ ආරම්භක තරග දෙකේ ඉරණම අපේ ක්‍රීඩිකාවන්ට අත්කර දීමට ඔවුන් සමත් වෙනවා. ඒ සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ මෙවර ලෝක කුසලාන ගමනේ අවසානය සටහන් වෙනවා.

පිතිකරු දක්ෂතා

Player Mat Inns N O Runs HS Ave 50 0
1 හර්ෂිතා සමරවික්‍රම 4 4 1 119 69* 39.6 1 0
2 චමරි අතපත්තු 4 4 0 118 68 29.5 1 0
3 නිලක්ෂි ද සිල්වා 4 4 2 60 41* 30.0 0 1
4 විශ්මි ගුණරත්න 4 4 0 60 35 15.0 0 1
5 අනුශ්කා සංජීවනී 4 4 1 14 8 4.6 0 1

මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකාරිණියන් අතරින් කැපී පෙනෙන දක්ෂතාව දැක්වූයේ හර්ෂිතා සමරවික්‍රම. ඇය තරග 4ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 119ක් ලබා ගන්නවා. එහි සාමාන්‍ය 39.1ක්.

ඇයගේ කැපී පෙනෙන ඉනිම බවට පත් වුනේ බංග්ලාදේශයට එරෙහිව පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 69යි.

ස්ථානයක් පිටුපසට ගිය නායිකාව වූ චමරි අතපත්තු මෙම ලැයිස්තුවේ දෙවැනි අසුන වෙන් කර ගන්නවා. ඒ හර්ෂිතාට වඩා එක් ලකුණක් පිටුපස සිටිමින්. ඇය ඉනිම් 4 දී ලකුණු 118ක් ලබා ගන්නා අතර ඊට දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 68ක් ද ඇතුළත්.

මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය නිලක්ෂි ද සිල්වා වෙත හිමි වුනා. ඇය ලබා ගත් ලකුණු 60 තුළ බංග්ලාදේශයට එරෙහිව පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 41ක් ද වෙනවා.

මේ අතර හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වා එක් ව බංග්ලාදේශයට එරෙහිව සිව්වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 104ක් රැස් කිරීමට සමත් වීම කැපී පෙනුණා. එය මෙවර තරගාවලියේ පළමු ශතක සබඳතාවයයි.

යොවුන් ක්‍රීඩිකා විශ්මි ගුණරත්න ද ලකුණු 60ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවට එක් වෙනවා. තරගාවලියේ දී ඇයගේ ලකුණු ලබා ගැනීම ඉනිමක් හැර ඉනිමක් බැගින් වීම වඩාත් කැපී පෙනුණ දුර්වලතාවක් වුනා. ඇයට මෙම වරද මේ තරගාවලියේ පසුව හෝ මඟ හරහා ගත හැකි නම් වඩාත් දීප්තිමත් අනාගතයකට හිමිකම් කිව හැකියි.

ඔවුන්ට අමතර ව මෙම ලැයිස්තුවේ 5 වැනි ස්ථානයට පත් වෙන්නේ ලකුණු 14ක් පමණක් ලබා ගත් අනුශ්කා සංජීවනී. එය එසේ වේ නම් අනෙකුත් පිතිකාරිණියන් ගැන කුමන කතා ද? එබැවින් අපේ පිතිකරු ලැයිස්තුව ගැන මීට වඩා සිතීමට කාලයක් තබමින් මේ තරගාවලියේ අපේ ගමන් මග අවසන් කර තිබෙන බවකි අපට හැඟෙන්නේ. එය වඩාත් වැදගත් වන්නේ මෙරට ක්‍රීඩා පිටියට නොව එළැඹෙන ජාත්‍යන්තර තරගාවලියක දී බැව් ද පවසමු.

පන්දු යවන ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා

Mat Inns O M Runs Wkts Best 3w
ඉනෝකා රණවීර 4 4 15.0 0 89 5 3/18 1
ඕෂධී රණසිංහ 4 4 14.5 0 98 5 3/23 1
චමරි අතපත්තු 4 3 9.5 0 64 2 2/19 0
සුගන්ධිකා කුමාරි 4 4 13.0 1 89 2 2/28 0
අචිනි කුලසූරිය 4 4 9.0 1 69 1 1/14 0

පන්දු යවන්නියන්ගේ දක්ෂතා සැලකිල්ලට ගැනීමේ දී අපේ ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුව සැකසීම ද නිකරුණේ කාලය කා දැමීමක් සේ දැනේ. කෙසේ වෙතත් කුමන් තත්ත්වයක් යටතේ වුව ද ඔවුන්ගේ දක්ෂතා කෙරෙහි ද සැලකිමත් විය යුතු බැවින් මේ සටහන මෙසේ දිගු කරමු.

ඒ අනුව පන්දු යවන්නියන් අතරින් වැඩිම දක්ෂතා දක්වන්නේ කඩුලු 5 බැගින් දවා ගන්නා ඉනෝකා රණවීර සහ ඕෂධී රණසිංහ. මේ අතරින් ශ්‍රී ලාංකීය පන්දු යවන්නියක් මෙවර තරගාවලියේ දී පෑ ඉහළම දක්ෂතා දැක්වීමට ඉනෝකා රණවීර සමත් වෙනවා. ඇය දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 18කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වෙනවා. ඊට පසු තරගයේ දී ද කඩුලු 2ක් දවා ගන්නා ඇයට පරාජිත තරග 2 දී එක ම කඩුල්ලක් හෝ හිමි වෙන්නේ නැහැ.

oshadi ranasingheමෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් ඕෂධී රණසිංහගේ ඉහළම දක්ෂතාව වන්නේ බංග්ලාදේශයට එරෙහිව ලකුණු 23කට දවා ගන්නා ලද කඩුලු 3යි. පළමු තරගයේ දී ද කඩුලු 2ක් දවා ගන්නා ඇයට ද ඉනෝකාට සේ ම සෙසු තරග 2 දී කිසිදු කඩුල්ලක් හිමි වෙන්නේ නැහැ.

නායිකා චමරි අතපත්තු කඩුලු 2ක් දවා ගනිමිනුයි මෙම ලැයිස්තුවට එක් වෙන්නේ. එම කඩුලු 2 ද බංග්ලාදේශයට එරෙහිව වාර්තා කරන ලද අතර අනෙක් තරගවල දී ඇයට ද කිසිදු කඩුල්ලක් හිමි වෙන්නේ නැහැ.

ඇයත් සමඟ දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 2ක් දවා ගන්නා සුගන්ධිකා කුමාරි එම දක්ෂතා හේතුවෙන් මෙම ලැයිස්තුවට එක් වීමට සමත් වෙනවා. අනතුරුව ලැයිස්තුවේ අසුන් ගන්නේ ආරම්භක වේගපන්දු යැවූ අචිනි කුලසූරිය. ඇයට මෙම තරගාවලියේ හිමි වෙන්නේ එක කඩුල්ලක් පමණයි.

මේ අතර ප්‍රතිවාදීන් මෙල්ල කිරීමට අමා කාංචනා, කවීශා දිල්හාරි සහ මල්ෂා ෂෙහානි ද උපයෝගී කර ගත්ත ද එය සාර්ථක වූයේ නැහැ.

සමස්තයක් ලෙස ගත් කල මෙවැනි දක්ෂතා දැක්විය හැක්කේ අත-පත ගාන තරමේ ඒවා බවයි. ඒ බැව් ඉහත වගු 2 පරීශීලනය කිරීමෙන් වඩාත් සාක්ෂි ඇතිව වටහා ගත හැකි. කවුරුන් කාන්තා ක්‍රිකට් ගැන කතා කළ ද හැමදාමත් පැවැසෙන්නේ එක ම දේ පමණයි. මෙහි වෙනසක් වෙන ආකාරයක් පෙනෙන තෙක් මානයක නැහැ.

ඒ කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් 2022 වසරේ විස්සයි විස්ස ලෝක කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඉනෝකා රණවීර නම් කර ඇති බැව් ප්‍රකාශයට පත් වීම සතුට ගෙන එන කාරණයක්. අපට හැමදාමත් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ දී ඇසෙන්නේ මෙවැනි එක් අයෙක් දෙදෙනෙක් ගැන මේ ආකාරයෙන් සතුටු විය හැකි ආකාරයේ ආරංචි පමණයි.

ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට එවැන්නක් පමණක් ප්‍රමාණවත් ද?

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<