චමරි අතපත්තු ශ්‍රේණිගත කිරීමේ ඉහළට

616

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව එක්දින පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 09 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත්ව තිබෙනවා.

ඕස්ට්‍රේලියා ක්‍රීඩිකා Alyssa Healy, චමරි අතපත්තු ඇතුළු පිතිකාරිණියන් කිහිප දෙනෙක්ම මෙවර ශ්‍රේණිගත කිරීමේ ඉහළට පැමිණ ඇති අතර ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩිකා Ashleigh Gardner පන්දු යවන්නියන් අතර ඉහළට පැමිණ තිබීම විශේෂත්වයක්.

නවසීලන්තයට එරෙහිව Healy වාර්තා කළ ලකුණු 55 නිසා වත්මන් ශ්‍රේණිගත කිරීමේ ස්ථාන දෙකක් පෙරමුණට පැමිණීමට ඇයට හැකි වෙද්දී, දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 68ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පෙරළිකාරී ජයකට මඟ විවර කළ චමරි අතපත්තු වත්මන් ශ්‍රේණිගත කිරීමේ එක් ස්ථානයක් පෙරමුණට පැමිණ තිබෙනවා.

කොදෙව් නායිකා Hayley Matthews (18 වැනි ස්ථානය දක්වා ස්ථාන හතරක්), අයර්ලන්ත ක්‍රීඩිකා Gaby Lewis (22 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකක්) සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Ellyse Perry (25 වැනි ස්ථානය දක්වා ස්ථාන හතරක්) ලෝක කුසලාන දස්කම් අනුව ඉහළට පැමිණි අනෙක් ක්‍රීඩිකාවන් වෙනවා.

තරගාවලියේ තවත් උණුසුම් තරගයක් වූ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති තරගයේ දස්කම් මත ද ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේ ඉහළට පැමිණ තිබෙනවා.

පාකිස්තානය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 68ක් ලබා ගත් Bismah Maroof ස්ථාන තුනක් ඉදිරියට පැමිණ 30 වැනි ස්ථානයේ පසුවෙද්දී, ඉන්දියා ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණය තහවුරු කරමින් නොදැවී ලකුණු 52ක් ලබා ගත් Jemimah Rodrigues 11 වැනි ස්ථානය (ස්ථාන දෙකක්) දක්වා සහ ලකුණු 31ක් නොදැවී ලබා ගත් යොවුන් ක්‍රීඩිකා Richa Ghosh 36 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

මෙම ක්‍රීඩිකාවන්ට අමතරව දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා Chloe-Tryon 37 වැනි ස්ථානය (ස්ථාන තුනක් ඉදිරියට) දක්වාත්, එංගලන්ත ක්‍රීඩිකා Alice Capsey 38 වැනි ස්ථානය (ස්ථාන 13ක් ඉදිරියට) දක්වාත් සහ ශ්‍රී ලංකා ක්‍රීඩිකා හර්ෂිතා සමරවික්‍රම 43 වැනි ස්ථානය දක්වා ස්ථාන නවයක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

නවතම විස්සයි විස්ස පන්දු යවන්නියන් අතරේ මුල් ස්ථාන දෙක හිමිව ඇත්තේ එංගලන්ත ක්‍රීඩිකා Sophie Ecclestone සහ දකුණු අප්‍රිකා ක්‍රීඩිකා Nonkululeko Mlaba හටයි.

ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් වැඩිම කඩුලු ලාභිණිය වන Ecclestone ප්‍රසාද ලකුණු 776ක් ලබා ගැනීමට සමත් වෙද්දී Mlaba හට හිමිව තිබෙන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 770ක්.

නවසීලන්තයට එරෙහි තරගයේ ලකුණු 12කට කඩුලු පහක් දවා ගනිමින් Ashleigh Gardner දැක්වූ දස්කම් නිසා පන්දු යවන්නියන් ශ්‍රේණිගත කිරීම 13 වැනි ස්ථානය දක්වා ස්ථාන හතක් ඉදිරියට පැමිණීමට ඇයට හැකිව තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ තහවුරු කර ගැනීමට Ashleigh Gardnerට හැකි වෙද්දී, ඕස්ට්‍රේලියා ක්‍රීඩිකා Hayley Matthews සහ නවසීලන්ත ක්‍රීඩිකා Amelia Kerr තෙවැනි සහ සිව්වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කළ තරග ද්විත්වයේ පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ ඉනෝකා රණවීර නවතම පන්දු යවන්නියන් ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 11ක් ඉදිරියට පැමිණෙමින් 10 වැනි ස්ථානයේ පසු වීම විශේෂත්වයක්.

එම ක්‍රීඩිකාවන්ට අමතරව Fran Jones, Alana King, Amelia Kerr,Darcie Brown, Nashra Sundhu, Radha Yadav සහ ඕෂධී රණසිංහ ද නවතම ශ්‍රේණිගත කිරීමට අනුව පන්දු යවන්නියන් අතර පෙරමුණට පැමිණ තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<