ලංකාව අමාරුවේ දාන්න ඉන්දියාව මිෂ්රා කැඳවයි

146

ඉන්දීය පන්දු යැවීමේ අංශය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට අමිට් මිෂ්රා කැඳවා තිබේ.ඒ අනුව 2011 වසරේ අගෝස්තු මාසයේදී අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇති මෙම පාදඟ පන්දු යවන්නා ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ප්‍රධාන තුරුම්පුව බවට පත්ව ඇත.

ශ්‍රී ලංකා-පාකිස්තාන ටෙස්ට් හා එක්දින තරගාවලියේදී යසීර් ෂා පාදඟ පන්දුවෙන් ශ්‍රී ලංකාව අසරණ කළ අතර, ඉන්දියාවද මෙම ක්‍රමය අනුගමනය කරමින් අමිට් මිෂ්රා යොදාගෙන තිබීම කැපී පෙනේ.

ඉන්දීය කණ්ඩායමේ නායකත්වය විරාත් කෝලිට හිමිව ඇති අතර, ආබාධයක් හේතුවෙන් මොහාමඩ් සැමී කණ්ඩායමට එක්කර නොමැත.

ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අගෝස්තු 12 වැනිදා ගාල්ලේදීත්, දෙවැනි තරගය අගෝස්තු 20 වැනිදා කොළඹ පී.සරවනමුත්තු පිටියේදීත්, තෙවැනි තරගය අගෝස්තු 28 වැනිදා කොළඹ එස්.එස්.සී. පිටියේදීත් ආරම්භ වීමට නියමිතය.
නම් කර ඇති ඉන්දීය සංචිතය _ විරාත් කෝලි (නායක), වරුන් ආරොන්, රවිචන්ද්‍රන් අෂ්වින්, ෂිකර් දවාන්, හර්බජාන් සිං, බුවනේෂ්වර් කුමාර්, චෙටෙස්වර් පුජාරා, අජින්ක්යා රහනේ, විදිර්මන් ෂා, ඉෂාන්ට් ෂර්මා, අමිට් මිෂ්රා, රෝහිත් ෂර්මා, මුරලි විජේ, උමේෂ් යාදව්, ලෝකේෂ් රාහුල්