කන්ද උඩරට කුමරියන්ගේ නිල් සටනේ ජය මහාමායා බාලිකාවන්ට

4th Battle of the Blazing Blues 2026

3
5th Battle of the Blazing Blues

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය සහ සාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය අතර 4 වැනි වරටත් පැවැති කන්ද උඩරට කුමරියන්ගේ නිල් මහ සටන 3 වැනි වරටත් ජයග්‍රහණය කිරීමට මහාමායා බාලිකා විද්‍යාලය සමත් වුණා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (30) නිමා වූ මෙම තරගයේ දී ඔවුන් ලකුණු 71ක ජයග්‍රහණයක් ලබා ගන්නවා. ඊට පෙර ඔවුන් 2023 වසරේ දී ද සහ 2025 වසරේ දී ද කන්ද උඩරට කුමරියන්ගේ නිල් මහ සටන ජයග්‍රහණය කර තිබෙන අතර 2024 වසරේ ජයග්‍රහණය ප්‍රතිවාදී සාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සතු කර ගත්තා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයීය නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව හිමි වූ මහාමායා බාලිකාවෝ කඩුලු 3ක් දැවී ලකුණු 146ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ලෙසින් පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත අන්තෝනි විද්‍යාලයීය බාලිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 7ක් දැවී ලකුණු 75ක් පමණයි.

මහාමාය බාලිකා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

යෙනුලි අමරසිංහ (නායිකාව), ගනිත්‍යා කොතලාවල (කඩුලු රකින්නිය), අසෙනි තලගුණේ, සනුකි පතිරගේ, හෂාරි සෝමරත්න, රුවින්දි නෙත්තිකුමාර, නෙතුනි විදානගමගේ, හියත්මා ජයරත්න, රිත්මි ගුණරත්න, බිඟුනි විරංගා සහ ජුලියන් රනුමි සහංසා.

 

සාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

පූර්ණිමා ගුණවර්ධන (නායිකාව සහ කඩුලු රකින්නිය), මල්මි හේරත්, චමෝදි මෙන්ඩිස්, මලීෂා බෙරෙන්ජර්, කවිශ්කා අබේරත්න, යෝගරාජන් ප්‍රවීන්‍යා, දුලීනා ප්‍රනාන්දු, සනුරි අබේසේකර, නුවනි පුල්සරා මුතුකුමාර, රෝෂිනි සමරවීර සහ හූඩා සිහාර්.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහාමායා බාලිකා විද්‍යාලයීය ඉනිම ආරම්භ කරන්නේ ගනිත්‍යා කොතලාවල සහ අසේනි තලගුණේ විසින්. ඔවුන් දෙදෙනාට පළමු කඩුල්ලට එක් කරන්නට හැකි වෙන්නේ ලකුණු 16ක් පමණයි. එහි දී පළමුවෙන් ම දැවී යන්නේ ගනිත්‍යා කොතලාවල. ඇය ගේ ඉනිම ලකුණු 7කට සීමා වෙනවා.

එම දැවී යෑමෙන් අනතුරු ව අසේනි තලගුණේ සහ සනුකි පතිරගේ එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 49ක සබඳතාවක් ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ සනුකි පතිරගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යන විට පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා සිටියා.

අනතුරු ව ඉනිමේ හොඳම ලකුණු සබඳතාව එක් කිරීමට අසේනි තලගුණේ සහ හෂාරි සෝමරත්න සමත් වෙනවා. ඔවුන් දෙදෙනා අතර 3 වැනි කඩුල්ලට එක් වූ සබඳතාව ලකුණු 74ක්. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ අසේනි තලගුණේ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 55ක් ලබා සිටියා.

හෂාරි සෝමරත්න මහාමායා බාලිකා විද්‍යාලයීය ඉනිම අවසන් වෙද්දී පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 34ක් ලබා සිටි අතර අනෙක් අන්තයෙන් පිටියේ රැඳී සිටි නායිකා යෙනුලි අමරසිංහ පන්දු 2කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 3ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී රෝෂිනි සමරවීර, කවිශ්කා අබේරත්න සහ මල්මි හේරත් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත අන්තෝනි විද්‍යාලයීය ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ දී ම දැවී යන අතර 2 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 31ක සබඳතාවක් එක් කිරීමට නායිකා පූර්ණිමා ගුණවර්ධන සහ චමෝදි මෙන්ඩිස් සමත් වෙනවා. එම කඩුල්ලේ සබඳතාව නිමා වෙන්නේ චමෝදි මෙන්ඩිස් (6) ගේ දැවී යෑමත් සමඟිනුයි.

පූර්ණිමා ගුණවර්ධන ඉනිමේ සිව් වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 18ක් ලබා ගත් අතර එය එම ඉනිමේ ක්‍රීඩිකාවන් විසින් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ද වූවා.

අනෙකුත් පිතිකාරිනියන් අතුරින් යෝගරාජන් ප්‍රවීන්‍යා පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබා ගත් අතර ඊට අමතර ව සාන්ත අන්තෝනි බාලිකා ඉනිම අවසන් වෙද්දී දුලීනා ප්‍රනාන්දු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 12ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වූ දකුණතින් පා දඟ පන්දු යවන අසෙනි තලගුණේ ලකුණු 9කට කඩුලු 4ක් දවා ගත්තා. ඊට අමතර ව දකුණතින් මඳ වේග පන්දු යැවූ හෂාරි සෝමරත්න ලකුණු 9කට කඩුලු 2ක් ද සහ යෙනුලි අමරසිංහ කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

මහාමායා බාලිකා විද්‍යාලය – කඩුලු 3ක් දැවී 146 (30.0) අසේනි තලගුණේ 55, සනුකි පතිරගේ 18, හෂාරි සෝමරත්න නොදැවී 34

 

සාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය – කඩුලු 7ක් දැවී 75 (30.0) පූර්ණිමා ගුණවර්ධන 18, හෂාරි සෝමරත්න 2/09, අසේනි තලගුණේ 4/09

මහාමායා බාලිකා විද්‍යාලයට ලකුණු 71ක ජයක්.

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නිය – පූර්ණිමා ගුණවර්ධන (සාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නිය – අසේනි තලගුණේ (මහාමායා බාලිකා විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකාරිනිය – හෂාරි සෝමරත්න (මහාමායා බාලිකා විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – අසේනි තලගුණේ (මහාමායා බාලිකා විද්‍යාලය)

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<