දෙවැනි පුහුණු තරගයේ දී ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පරාජය වෙයි

ICC Men's U19 Cricket World Cup 2024

327
ICC Men's U19 Cricket World Cup 2024

වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු පුහුණු තරගයෙන් කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දීය යොවුන් ක්‍රීඩකයින් විසින් අද (17) සමත් වුනා.

දකුණු අප්‍රිකාවේ Pretoria හිදි පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයා සතු වූ අතර ඔහු පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන් එතරම් සාර්ථක ලෙස ඉන්දීය පන්දු යවන්නන්ට මුහුණ දීමට සමත් වුනේ නැහැ. ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 208ක් පමණයි. මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම ලකුණු ලාභියා වූ දිනුර කළුපහන පන්දු 108ක් තුළ ලකුණු 67ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුට අමතරව එකඳු ශ්‍රී ලාංකික පිතිකරුවකු හෝ ලකුණු 30 සීමාව ඉක්මවා යෑමට සමත් වුනේ නැහැ.

ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Musheer Khan කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකාව විසින් ලබා දුන් ලකුණු 209ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගලය ඉතා ඉක්මනින් නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ගරුක සංකේත් සහ දිනුර කළුපහන විසින් සමත් වූවත් එතැන් පටන් ඉන්දීය පිතිකරුවන් ඉතා සංයමයෙන් සිය ඉනිම ගොඩ නංවමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මෙහි දී ඉන්දියාව වෙනුවෙන් Musheer Khan සහ නායක Uday Saharan අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.

  • ශ්‍රී ලංකාව– 208/9 (50) දිනුර කළුපහන 67, පුලිඳු පෙරේරා 29, Musheer Khan 3/34, Raj Limbani 1/18
  • ඉන්දියාව– 209/3 (41.2) Musheer Khan 51, Uday Saharan 50, දිනුර කළුපහන 1/12, සිනෙත් ජයවර්ධන 1/19

මේ අනුව ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ තමන්ට නියමිත පුහුණු තරග ද්විත්වය ම අවසන් කළා. (පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව බංග්ලාදේශය පරාජය කිරීමට සමත් වුනා.)

එළඹෙන 19 වැනි දා නිල වශයෙන් ආරම්භ වීමට නියමිත 19න් පහළ ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට සිය ප්‍රථම අභියෝගය ලෙස එළඹෙන ඉරිදා (21) සිම්බාබ්වේ කණ්ඩායම සමඟ තරග වැදීමට සිදු වනු ඇති.

එම තරගය ද ඇතුළුව තරගාවලියේ සියලු උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<