ICCයෙන් ඇෆ්ගනිස්තානයට දඬුවම් ලැබෙන ලකුණු

520

ලෝක ක්‍රිකට් පිටියේ පෙරළිකාර කණ්ඩායමක් වන ඇෆ්ගනිස්තානයේ ඇතිව තිබෙන ගැටලු නිසා ඔවුන්ගේ ක්‍රිකට් පාලක මණ්ඩලයට දැඩි පීඩනයක් එල්ල වී ඇති අතර ඔවුන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් දඬුවම් පැනවීමට ද වැඩි ඉඩක් මතුව තිබෙනවා.

මෙම තත්වය මත ඕස්ට්‍රේලියා කණ්ඩායම ඇෆ්ගනිස්තාන සංචාරයෙන් ඉවත් වන බවට පසුගිය දා නිවේදනය කිරීමත් සමඟ උණුසුම් තත්වයක් හට ගත් අතර ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ එම ක්‍රියා කලාපයට විරුද්ධව ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් සහ බලධාරීන් දැඩි ලෙස චෝදනා එල්ල කරන්නට වුනා.

මෙම තත්වය පිළිබඳව Cricbuzz වෙත අදහස් දක්වමින් හිටපු ඇෆ්ගනිස්තාන නායක  Mohammad Nabi ප්‍රකාශ කළේ,

“ක්‍රීඩාව සමඟ දේශපාලනය සම්බන්ධ කර නොගත යුතුයි. ලෝක කුසලාන සමයෙත් මේ ගැටලු තිබුණා, එහෙනම් ඇයි අපි සමඟ ක්‍රීඩා කළේ? මොකද ඔවුන්ට ප්‍රසාද ලකුණු දෙක සහ හොඳ ලකුණු වේගයක් අවශ්‍ය වුනා ඉදිරියට යන්න.

ඔවුන් එතකොට ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලානයේ දී මොකක්ද කරන්නේ? අපිව වර්ජනය කරනවා ද? ඔවුන් දීලා තියෙන හේතුව නිවැරදි එකක් නෙවෙයි.” 

ඇෆ්ගනිස්තානයේ ප්‍රතිචාරය කුමක් වූවත් මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේ දී ඇෆ්ගනිස්තානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල කොන්දේසි සම්පූර්ණ කිරීමට අපොහොසත් වීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට ක්‍රීඩා කිරීම තහනම් කිරීමත් සමඟ ඔවුන්ගේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අහිමි වූ අතර එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික කොන්දේසිවලට පටහැණි වෙනවා.

එම නිසා ඇෆ්ගනිස්තානය කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැඩි ලෙස විමසිල්ලෙන් පසු වන බව ද එහි ප්‍රකාශකයා සඳහන් කළා.

“ඇෆ්ගනිස්තානයේ ක්‍රීඩා කරන කාන්තාවන් සහ පිරිමින් ආරක්ෂිතව ක්‍රීඩා කළ යුතු අතර එයට අවශ්‍ය සහයෝගය අපි සෑම විටම ලබා දෙනවා. ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය රට තුළ ක්‍රීඩාව දියුණු කිරීමට කටයුතු කළ යුතුයි.”

මෙම වසර තුළ 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය සහ විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය පැවැත්වෙන නමුත් ඇෆ්ගනිස්තාන කාන්තා කණ්ඩායමක් ඒවාට සහභාගි වන්නේ නැහැ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ඇෆ්ගනිස්තානය අතර ගැටලුව එලෙස පවතිද්දී, ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම විසින් ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වීමට තිබූ එක්දින තරගාවලිය අවලංගු කිරීමට පසුගිය දා කටයුතු කළා.

ඕස්ට්‍රේලියාව එම තීරණය ප්‍රකාශ කිරීමත් සමඟ ඇෆ්ගනිස්තාන සුපිරි ක්‍රීඩක Rashid Khan ඊට සිය අප්‍රසාදය පල කරමින් බිග් බෑෂ් ලීගය වර්ජනය කරන බව ද ප්‍රකාශ කළා.

“ඇෆ්ගනිස්තානය සමඟ ක්‍රීඩා කරන එක අපහසුයි නම් මට බිග් බෑෂ් ක්‍රීඩා කරන එකත් අපහසු දෙයක්. ඒ නිසා මම ඒ ගැන දැඩිව සලකා බලනවා,” යැයි ඔහු ප්‍රකාශ කළා.

ඔහුට අමතරව එම ලීගය ක්‍රීඩා කළ අනෙක් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් විසින් ද එම තීරණය ගෙන ඇතැයි වාර්තා වෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ද දැඩි අප්‍රසාදය පල කරමින් ප්‍රකාශ කළේ,

“ක්‍රීඩාවේ මූලධර්ම වලට වඩා දේශපාලනයට තැන දීලා ඕස්ට්‍රේලියාව රටවල් දෙකේ සමගියට හානි කරනවා. මෙම තීරණය ඉතා අනපේක්ෂිත සහ අසාධාරණ වන අතර එය නිසා ඇෆ්ගනිස්තාන ක්‍රීඩාවට ද හානියක් වෙන්න පුළුවන්.

ඇෆ්ගනිස්තානය තුළ සමගිය ඇති කරන්න ක්‍රිකට් ඉතා විශාල වැඩ කොටසක් සිදු කළා. වසර ගණනාවක යුද්ධවලින් පස්සේ ක්‍රිකට් රටේ සාමය ඇති කළා. එය ඇෆ්ගනිස්තාන තරුණයන්ට උද්‍යෝගය ගෙන එන්න වැදගත් දෙයක්. ඒ වගේම රටේ සංවර්ධනයට සහ අධ්‍යාපනයට ද ක්‍රිකට් විශාල වැදගත් දෙයක් වෙනවා,” යැයි ඔවුන් ප්‍රකාශ කළා.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<