සුපිරි ඉන්දීය වේගපන්දු යවන්නෙක් ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවතට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

937

ඉන්දීය සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක Jasprit Bumrah, ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත, තරග තුනකින් යුත් එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩා නොකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ පිළිබඳව තහවුරු කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබුණේ, ඔහුව ඉක්මනින් ක්‍රීඩා නොකිරීමට බලධාරීන් තීරණය කර ඇති බවයි. එමෙන්ම ඔහු තරගය පැවැත්වෙන Guwahati වෙත පැමිණ නැතැයි ද වාර්තා වෙනවා.

ආබාධයකට ලක් වීමෙන් පසු සුවය ලබමින් සිටින Bumrah ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා කැඳවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මීට පෙර තීරණය කර තිබුණා.

“සමස්ත ඉන්දීය ජ්‍යෙෂ්ඨ තේරීම් කමිටුව විසින් Bumrahව ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් එක්දින තරගාවලිය සඳහා කැඳවීමට තීරණය කළා,” යැයි ජනවාරි 03 වැනිදා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.

මෙම ආබාධය නිසා 2022 සැප්තැම්බර් 22 වැනිදා සිට ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට Jasprit Bumrahට සිදු වුනා.

“මෙම වේගපන්දු යවන්නා පුනරුත්තාපනය කර ඇති අතර ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රීඩා කිරීමට සුදුසු තත්වයේ ඇති බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා ඔහු ඉක්මනින් එක්දින සංචිතය සඳහා එක් වෙනු ඇත,” යැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩි දුරටත් සිය නිවේදනයේ ප්‍රකාශ කර තිබුණා.

කෙසේ නමුත් ජාතික ක්‍රිකට් කමිටුවේ නිර්දේශය මත ඔහු මෙම තරගාවලිය ක්‍රීඩා නොකරන අතර ඔහුව මෙම වසරේ පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියා සංචාරය, ලෝක කුසලානය වැනි තරගාවලි සඳහා සූදානම් කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබෙනවා.

Jasprit Bumrah මෙම මාසයේ නවසීලන්තය සමඟ ආරම්භ වීමට නියමිත තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් ඇතැයි ද ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබෙනවා.

එලෙස Bumrah එක්දින කණ්ඩායමෙන් ඉවත් වෙද්දී, විස්සයි විස්ස තරගාවලියට සහභාගී නොවූ නායක Rohit Sharma, උපනායක KL Rahul, Virat Kohli සහ Shreyas Iyer ශ්‍රී ලංකාවට එරෙහි එක්දින සංචිතයට එක්කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය එක්දින සංචිතය (නවතම): Rohit Sharma (නායක), Shubman Gill, Virat Kohli, Suryakumar Yadav, Shreyas Iyer, KL Rahul (wk), Ishan Kishan (wk), Hardik Pandya, Washington Sundar, Yuzvendra Chahal, Kuldeep Yadav, Axar Patel, Mohd. Shami, Mohd. Siraj, Umran Malik and Arshdeep Singh

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<