“මට මාව කාටවත් සාධාරණීකරණය කරන්න අවශ්‍ය නැහැ” – Babar Azam

865

සිය මව්බිමේ දී දිගින් දිගටම ටෙස්ට් තරගවලින් ලැබූ අසාර්ථකත්වය නිසා නවසීලන්තය සහ පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලියට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් පාකිස්තාන නායක Babar Azamට විවේචනාත්මක ප්‍රශ්න කිහිපයයක් යොමු කර තිබුණා.

එක්දින තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් සිටිය දී මාධ්‍යවේදියෙකු විසින් දිගින් දිගටම ටෙස්ට් ආකෘතියේ පසුබෑම නිසා Babar Azam සිය නායකත්වයෙන් ඉල්ලා අස්වනවා ද යන්න විමසා සිටියා.

“මම හිතන්නේ අපි දැන් සීමිත පන්දුවාර තරගාවලියක් අභියස සිටින්නේ, ටෙස්ට් තරගාවලිය ඉවරයි. ඒ නිසා සීමිත පන්දුවාර තරගාවලිය ගැන ප්‍රශ්න තියෙනවා නම් විතරක් අහන්න,” යැයි පාකිස්තාන නායකයා ප්‍රකාශ කර තිබුණා.

එමෙන්ම එහි දී ඔහුගේ නායකත්වය සහ එය ඔහුගේ පිතිකරණයට බලපෑම් එල්ල කරන්නේ ද යන්න විමසූ විට Azam ප්‍රකාශ කළේ,

“මට මම ගැන කාටවත් සාධාරණීකරණය කරන්න ඕනේ නැහැ. මම දන්නවා මම කරන්නේ මොකක්ද කියලා. මගේ අවධානය පාකිස්තානය වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කරන්න විතරයි.”

මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, සිය කණ්ඩායමේ සඟයන් සීමිත පන්දුවාර තරගාවලිය ගැන උද්යෝගයෙන් පසුවන බවයි.

“සීමිත පන්දුවාර තරගවල අපි හොඳින් ක්‍රීඩා කළා වගේම ඒ රිද්මය දිගටම තියාගන්න මට අවශ්‍යයි. නවසීලන්තය ඉතාමත් හොඳ කණ්ඩායමක්, ඒ නිසා මේක කණ්ඩායම දෙකටම ඉතා තියුණු තරගාවලියක් වෙයි.”

මීට අමතර මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දුන් පාකිස්තාන නායකයා ප්‍රකාශ කළේ, අතුරු තේරීම් කමිටු සභාපති Shahid Afridi සමඟ තමාට කිසිදු ගැටලුවක් නොමැති බවයි.

එමෙන්ම මෙම සාකච්ඡාව අතරතුර සීමිත පන්දුවාර කණ්ඩායමේ නව උපනායකයා ලෙස Shan Masood පත් කිරීමට කටයුතු කිරීම පිළිබඳව කතාබහක් නිර්මාණය වූ අතර එහි දී Azam ප්‍රකාශ කළේ, Masood කණ්ඩායම තුළ ක්‍රීඩා කරන්නේ ද යන්නත් අවිනිශ්චිත බවයි.

“අපිට තනි ක්‍රීඩකයින් ගැන මේ වෙලාවේ කතා කරන්න බැහැ, ඔහු කණ්ඩායමේ උපනායකයා වූවත්. අපි මේ වෙලාවේ කරන්නේ හොඳම ක්‍රීඩකයින්ගෙන් අපේ සංචිතය හදලා තරගාවලිය ජයග්‍රහණය කරන්නයි.”

ඔහුගේ මෙම ප්‍රකාශය තරමක් ආන්දෝලනාත්මක එකක් වූ අතර හිටපු පාකිස්තාන ක්‍රීඩක Sikander Bakht විසින් එම සිදුවීම පිළිබඳව Azamට චෝදනා එල්ල කරමින් අදහස් ප්‍රකාශ කර තිබුණා.

“ඒක හොඳ උත්තරයක් නෙවෙයි. ඇත්තටම ඔබ ඔහුව උපනායකයා කිරීම පවා අමුතු දෙයක්. ඔහුව උපනායකයා කරන්න කලින් Afridi ඒ ගැන Azamගෙන් ඇහුවේ නැද්ද? ඒක හොඳ දෙයක් නෙවෙයි. දැන් අදාළ ක්‍රීඩකයා කණ්ඩායමේ ඉන්නවා ද, නැද්ද කියලා Azam දන්නේ නැහැ කියනවා. ඒක කණ්ඩායමට කොහෙත්ම හොඳ දෙයක් නෙවෙයි.

මම ඉල්ලා සිටිනවා Afridiගෙන් ගිහින් Azamට කතා කරන්න කියලා. මෙතන දේශපාලන දෙයක් හදන්න එපා. කතා කරලා තීරණයක් ගන්න. අපි හැමෝම පාකිස්තාන ජාතිකයින්, අපි හැම ක්‍රීඩකයටම සහයෝගය දෙන්න ඕන.”

Mohammad Rizwanගේ ස්ථානයට ආදේශ කරමින් Masood කණ්ඩායමේ උපනායකයා ලෙස නම් කළ අතර තරග තුනකින් යුත් තරගාවලියට නම් කළ සංචිතයේ සිටින එකම කඩුලු රකින්නා ඔහු වීම ද විශේෂත්වයක්.

Masood අවසන් වරට එක්දින තරගාවලියක් ක්‍රීඩා කර ඇත්තේ 2019 වසරේ වන අතර ඕස්ට්‍රේලියාවට එරෙහි එම තරගාවලියේ දී ඔහු පිතිකරණ සාමාන්‍ය 22ක් රඳවා ගනිමින් ලකුණු 111ක් රැස් කළා.

තරගාවලිය පිළිබඳව පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දක්වමින් නවසීලන්ත නායක Kane Williamson ප්‍රකාශ කළේ, තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම තවමත් තීරණය කර නොමැති බවත් එය ක්‍රීඩාංගණයේ ස්වභාවය අනුව තීරණය කරන බවයි.

“අපි සීමිත පන්දුවාර තරගවල දී අනුගමනය කරන රටාවක් තිබෙනවා. අපිට එය කිරීමට අවශ්‍ය වූවත්, අපගේ ක්‍රීඩකයින් කිහිපයකට ආසියානු කලාපයේ ක්‍රීඩා කිරීම අලුත් දෙයක්. නමුත් මම හිතනවා ඔවුන් තරගය අතරතුර ඒවාට අනුගත වෙයි කියලා.”

නවසීලන්තය සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් එක්දින තරගාවලිය අද (09) කරච්චි නුවර දී ආරම්භ වීමට නියමිතයි.

Times of India සහ Hindustan times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<