Babar Azamගේ ටෙස්ට් නායකත්වය අවදානමකට

1160

පාකිස්තාන කණ්ඩායම ටෙස්ට් පිටියේ දිගින් දිගටම ලැබූ අසාර්ථකත්වය නිසා වත්මන් ටෙස්ට් නායක Babar Azamගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්න නැගුණු අතර එංගලන්තය හමුවේ මව්බිමේ දී ටෙස්ට් පූර්ණ තරගාවලි පරාජයක් ලැබීමත් සමඟ එය උග්‍ර අතට හැරුණා.

එම තරගාවලියෙන් පසු පාකිස්තාන පාලක මණ්ඩලයේ දී වෙනස්කම් කිහිපයක් සිදු වීමෙන් අනතුරුව නැවතත් නායකත්වය පිළිබඳව වැඩි කතාබහක් ඇති වූ අතර බොහෝ විට ටෙස්ට් නායකත්වය Babar Azamට අහිමි වීමට ඉඩක් පවතී.

තේරීම් කමිටුවේ විශ්වාසය Shan Masood හට හිමිව ඇති බව දක්නට ලැබීම නිසා බොහෝ විට මීළඟ ටෙස්ට් නායකත්වය ඔහුට හිමි වීමට ඉඩක් ඇත.

පාකිස්තාන ක්‍රිකට් නිල වෙබ් අඩවියේ සඳහන් කළ වාර්තාවකට අනුව ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ නවසීලන්තය සමඟ පැවති තරගාවලිවල දී සිදු වූ දැඩි පසුබෑම නිසා Babar Azam නායකත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් ඇති බව වාර්තා වනවා.

කෙසේ නමුත් නායකයෙකු ලෙස අසාර්ථක වූවත් එම ටෙස්ට් තරග 10 තුළ පිතිකරුවෙකු ලෙස දස්කම් දක්වමින් ලකුණු 50කට වැඩි පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගැනීමට Azamට හැකි වීම විශේෂත්වයක්.

Shan Masood උපනායකයා බවට පත් කිරීමට පාකිස්තාන ක්‍රිකට් සභාපති Najam Sethi ගත් තීරණයත් සමඟ Azam ටෙස්ට් සහ එක්දින නායකත්වයෙන් ඉවත් කිරීමට පාලක මණ්ඩලයට අවශ්‍ය බව සඳහන් කර ඇති බව ද වාර්තා වනවා.

මීට දින කිහිපයකට පෙර මෙම සිදුවීම් පිළිබඳව අදහස් දක්වමින් හිටපු පාකිස්තාන නායක Misbah ul Haq ප්‍රකාශ කර තිබුණේ Azamගේ නායකත්වය දුර්වල කිරීමට මෙන් සිදු කරන මෙම ප්‍රශ්න කිරීම් හෙළා දකින බවයි.

“එයින් පෙනෙන්නේ ඔහුව (Azam) දුර්වල කරන්න හදනවා වගෙයි. ඒක හොඳ දෙයක් නෙවෙයි එහෙම ප්‍රශ්න මාධ්‍ය සාකච්ඡාවල අහන එක. ඒ දේවල් හැමෝම බලාගෙන ඉන්නේ.

එහෙම තීරණයක් ගන්න තියෙනවා නම් ඒක හැමෝම එකතු වෙලා ගන්න ඕන තීරණයක්. නායකයා, තේරීම් කමිටුව සහ පාලක මණ්ඩලය එකට කතා කරලා හරි තීරණයක් ගන්න ඕන. වෙන හේතු නිසා කෙනෙක්‍ට පීඩනයක් එල්ල කළොත් එය කණ්ඩායමටම බලපානවා. ඒක සිදු නොවිය යුතුයි,” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

Hindustan times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<