ලෝක කුසලානයේ B කාණ්ඩයේ අභියෝගය

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

735
ICC T20 World Cup 2022 - Group B

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් අතරට B කාණ්ඩයෙන් එකතු වන්නේ අයර්ලන්තය, ස්කොට්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව්වන් සහ සිම්බාබ්වේ යන කණ්ඩායම්.

මේ කණ්ඩායම් අතරින් බටහිර ඉන්දීය කොදෙව්වන් සහ සිම්බාබ්වේ කණ්ඩායම්වලට වැඩි බර තබා කතාබහ කළ ද, ස්කොට්ලන්තයේත්, අයර්ලන්තයේත් දක්ෂතා කිසිලෙසකින්වත් අවප්‍රමාණයේ සැලකිය නොහැකියි. ඔවුන් ද ලෝක කුසලාන ඉතිහාසයේ මෙන් ම ලෝක විස්සයි විස්ස පිටියේ දී ද සුවිශේෂී දක්ෂතා දක්වා තිබෙනවා.

ස්කොට්ලන්තය

සිව් වරක් ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කර තිබෙන ස්කොට්ලන්තය මීට පෙර 2021 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දී සුපිරි 12 වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා. ලෝක කුසලාන තරගාවලියේ දී ඔවුන්ගේ දක්ෂතා ලැයිස්තු ගත වෙන්නේ සහභාගී වූ තරග 15ක්, ජයග්‍රාහී තරග 4ක්, පරාජිත තරග 10ක් සහ නොවිසඳුණ තරගයක් ලෙසයි.

මෙවර ලෝක කුසලානයේ දී ස්කොට්ලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ 35 වැනි වියේ පසුවෙන Richie Berrington වෙතයි. මේ දක්වා විස්සයි විස්ස තරග 76කට ක්‍රීඩා කර ඇති ඔහු පිතිකරුවෙක් ලෙසින් ලකුණු 1718ක් ලබා සිටිනවා. එය ස්කොට්ලන්ත ඉතිහාසයේ පිතිකරුවෙක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි. වේගපන්දු යවන්නෙක් ලෙසින් අමතර අවස්ථාවන් උපයෝගී කර ගන්නා ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 28ක්.

කෙසේ වෙතත් ඔහුට නායකයෙක් ලෙසින් සාර්ථක වීමට මේ දක්වා ඉඩ ලැබී නැහැ. ස්කොට්ලන්ත කණ්ඩායම අවස්ථා 5ක දී මෙහෙයවා ඇති Richie Berringtonට මේ දක්වා කිසිදු ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට හැකිව නැහැ.

කණ්ඩායමේ පිතිකරුවන් අතර George Munsey වැඩි අවධානයට ලක් වූ ක්‍රීඩකයෙක්. ඔහු මේ දක්වා තරග 53කට සහභාගී වී ලකුණු 1317ක් ලබා තිබෙනවා. ස්කොට්ලන්තය වෙනුවෙන් ඉනිමක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවේ හිමිකාරිත්වය ද ඔහු සතුයි. ඒ  නෙදර්ලන්තයට එරෙහිව 2019 වසරේ දී පන්දු 56ක දී වාර්තා කරන ලද නොදැවුණ ලකුණු 127යි.

ඊට අමතරව ස්කොට්ලන්ත ඉතිහාසයේ ලකුණු 1000 සම්පූර්ණ කරන ලද Calum MacLeod ද මෙම කණ්ඩායමේ ආසනයක් හිමිකර ගෙන සිටීම ප්‍රතිවාදීන්ට හිසරදයක් වනු නියතයි.

පන්දු යවන්නන් අතරින් 31 වැනි වියේ පසුවෙන දකුණතින් වේගපන්දු යවන Safyaan Sharif කණ්ඩායම හා එක් වෙන්නේ ස්කොට්ලන්ත ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයා ලෙසයි. ඔහු මේ දක්වා තරග 54කට සහභාගී වෙමින් කඩුලු 61ක් ලබා සිටිනවා.

ඔහුට අමතරව එම ලැයිස්තුවේ කඩුලු 57ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානය හිමි 26 හැවිරිදි වමතින් දඟපන්දු යවන Mark Watt මෙන් ම දකුණතින් පිට දඟපන්දු යවන Michael Leask ද ස්කොට්ලන්ත කණ්ඩායමේ සුවිශේෂී පන්දු යවන්නන් ලෙස හැඳින්විය හැකියි.

ස්කොට්ලන්ත සංචිතය: Richie Berrington (නායක), Matthew Cross, Josh Davey, Chris Greaves, Hamza Tahir, Michael Jones, Michael Leask, Calum MacLeod, Brandon McMullen, George Munsey, Safyaan Sharif, Chris Sole, Craig Wallace, Mark Watt, Brad Wheal

අයර්ලන්තය

පළමු ලෝක කුසලානය හැරෙන්නට අනෙක් සෑම ලෝක කුසලාන තරගාවලියක් ම නියෝජනය කළ අයර්ලන්තය 2009 වසරේ දී සුපිරි කණ්ඩායම් 8 අතරට පිවිසීමට ද සමත් වූ කණ්ඩායමක්.

නමුත් එම වටයේ දී ඔවුන්ට කිසිදු ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වූවත්, ඔවුන් මෙතෙක් ලෝක කුසලාන තරග සහභාගීත්වයේ දී තරග 18ක දී ජයග්‍රාහී තරග 4ක්, පරාජිත තරග 11ක් සහ නොවිසඳුණ තරග 3ක් ලෙසින් ඉතිහාසයට එක් වී තිබෙනවා.

මෙවර ලෝක කුසලානයට සහභාගී වෙන අයර්ලන්ත කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ 31 හැවිරිදි වියේ පසුවෙන Andy Balbirnie වෙතයි. විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 79ක අත්දැකීම් සපිරි ඔහු මේ වන විට ලකුණු 1657ක් ලබා ගෙන තිබෙනවා. එය අයර්ලන්ත ඉතිහාසයේ තෙවැනියට ලැයිස්තු ගත වූ දක්ෂතාවයි.

නායකයෙක් ලෙසින් අවස්ථා 42ක දී අයර්ලන්ත කණ්ඩායම මෙහෙයවා ඇති Andy Balbirnie ඉන් තරග 15ක් ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් වෙනවා. පරාජිත තරග 25ක්, ලකුණු සම වීමෙන් අවසන් වූ තරගයක් සහ නොවිසඳුණ තරගයක් ද ඒ අතර තිබෙනවා.

අයර්ලන්තයේ බලාපොරොත්තු සහගත ක්‍රීඩකයන් අතරින් 30 හැවිරිදි වියේ පසු වෙන George Dockrell ගේ නම ඉහළින් ම පැවසෙනවා. ඔහු මේ දක්වා තරග 105ක දී ලකුණු 695ක් ලබා සිටින අතර වමතින් දඟපන්දු යවමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 80ක්. එය අයර්ලන්ත ඉතිහාසයේ පන්දු යවන්නෙක් ලබා ඇති ඉහළ ම කඩුලු සංඛ්‍යාවයි.

ඔහුට අමතරව 25 හැවිරිදි Gareth Delanyගේ නම ද අයර්ලන්තය වෙනුවෙන් ඉහළින් ම බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයන් අතර වෙනවා. මේ දක්වා තරග 49ක දී ලකුණු 733ක් රැස් කරගෙන සිටින ඔහු වමතින් දඟපන්දු යවමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 29ක්.

ඔවුන්ට අමතරව පන්දු යවන්නන්ගේ බලඇණිය ශක්තිමත් කරන ක්‍රීඩකයන් අතර  දකුණතින් වේගපන්දු යවන්නන් වන Mark Adair සහ Craig Young ද සිටිනවා.

අයර්ලන්ත සංචිතය: Andy Balbirnie (නායක), Paul Stirling, Mark Adair, Curtis Campher, Gareth Delany, George Dockrell, Stephen Doheny, Fionn Hand, Josh Little, Barry McCarthy, Conor Olphert, Simi Singh, Harry Tector, Lorcan Tucker, Craig Young

බටහිර ඉන්දීය කොදෙව්වන්

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ 2012 සහ 2016 වසර ද්විත්වයේ ලෝක කුසලානය දිනා ගනිමින් එසේ ලෝක කුසලානය දෙවරක් දිනූ එක ම රට ලෙස වාර්තා ගත ඉතිහාසයකට හිමිකම් කියන බටහිර ඉන්දීය කොදෙව්වෝ මෙවර තරගාවලියේ දී සුපිරි 12 වටයට පිවිසීමට පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය නියෝජනය කරන කණ්ඩායම් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමි කර ගන්නා කණ්ඩායමක්.

ලොව වැඩිම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ක්‍රීඩා කළ රටවල් අතුරින් සිව්වැනි තැත සිටින කොදෙව්වෝ ක්‍රීඩා කර ඇති තරග සංඛ්‍යාව 173ක්. ඔවුන් ඉන් තරග 70ක් ජයග්‍රහණය කරද්දී තරග 90ක් පරාජයට පත්ව සිටිනවා. ඊට අමතරව ලකුණු සම වීමෙන් අවසන් වූ තරග 3ක් වන අතර නොවිසඳුණ තරග 10ක් ද ඒ අතර වෙනවා.

මේ දක්වා පැවති සෑම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක් ම නියෝජනය කළ බටහිර ඉන්දීය කොදෙව්වෝ එහි දී ජයග්‍රහණ 18ක්, පරාජිත 16ක්, ලකුණු සමවීමෙන් තරගයක් සහ නොවිසඳුණ තරගයක් ලෙසින් තරග 36කට ක්‍රීඩා කර තිබෙනවා.

පසුගිය ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේ දී ම සුපිරි වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටි බටහිර ඉන්දීය කොදෙව්වෝ එහි පළමු කාණ්ඩය නියෝජනය කළා. එහි දී තරග 5කට මුහුණ දෙන ඔවුන්ට ජය ගත හැකි වන්නේ බංග්ලාදේශය හා සමග තරගය පමණයි. එම තරගය ද ඔවුන් ජයග්‍රහණය කරන්නේ ලකුණු 3ක තියුණු අවසානයක් සහිතවයි.

එම මතකයන් ද සහිතව මෙවර තරග පිටියට පිවිසෙන කොදෙව් කණ්ඩායමේ නායකත්වය හිමි ව තිබෙන්නේ 27 හැවිරිදි  Nicholas Pooran වෙතයි. කඩුල්ල පිටුපස සිටිමින් කණ්ඩායම මෙහෙයවන ඔහු මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 69කට ක්‍රීඩා කරමින් ලකුණු 1402ක් සහ දවා ගැනීම් 40කට දායක වී සිටිනවා. නායකත්වය ලබා දුන් තරග සංඛ්‍යාව 20ක් වන අතර ඉන් ජයග්‍රහණය කිරීමට ලැබෙන්නේ තරග 7ක් පමණයි. තරග 12ක් පරාජය වෙද්දී තවත් තරගයක් නොවිසඳුණ තරගයක් සේ ප්‍රකාශිතයි.

Nicholas Pooran මෙම තරගාවලියට එක් වෙන්නේ තමන් නායකත්වය දුන් අවසන් තරග 7 ම පරාජය පත් වෙමින්. එබැවින් මෙම තරගාවලියේ දී ඔහුට ඔහුගේ කිරුළ රැක ගැනීමට සේ ම කණ්ඩායමේ ගරුත්වය රැක ගැනීමට ද වැඩි වැඩ කොටසක් කිරීමට සිදු වෙනවා.

එහි දී ඔවුන්ගේ වඩාත් විශ්වාසවන්ත පිතිකරුවා වී ඇත්තේ Evin Lewis. නමුත් ඔහු 2021 නොවැම්බර් මාසයෙන් පසුව මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නැහැ. ඔහුගේ දක්ෂතා ලැයිස්තුගත කිරීමේ දී වර්තමාන ක්‍රීඩකයන් අතරින් කොදෙව්වන් වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කර ගෙන සිටින්නේ ඔහු. මේ දක්වා තරග 50කට සහභාගී වී ඇති ඔහු ඉන්දියාවට එරෙහිව රැස් කරන ලද ශතක 2ක් සහ අර්ධ ශතක 50ක් සමඟින් ලකුණු 1423ක් ලබා සිටිනවා.

ඊට අමතරව උපනායක Rovman Powell, Johnson Charles සහ Brandon King පිතිකරුවන් අතරින් වඩාත් බලාපොරොත්තු තබා සිටින ක්‍රීඩකයන්.

දකුණතින් වේගපන්දු යවන 30 හැවිරිදි Jason Holder මේ වසරේ වඩාත් කතාබහට ලක් වූ කොදෙව් පන්දු යවන්නායි. ඔහු එංගලන්තයට එරෙහිව පිට පිට පන්දු 4ක දී කඩුලු 4ක් දවා ගනිමින් ලෝක ඉතිහාසයේ එවැන්නක් කළ සිව්වැන්නා බවට පත් වුනා. මේ හේතුවත් සහ මේ දක්වා කඩුලු 46ක් දවා ගනිමින් කොදෙව් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 5 වැන්නා බවට පත් වීමත් හේතුවෙන් ඔහු කෙරෙහි තබා තිබෙන විශ්වාසයයි ප්‍රමුඛයි.

මේ අතර කොදෙව් පන්දු යවන්නන්ගේ බලඇණියේ වමතින් වේගපන්දු යවන්නන් වන  Sheldon Cottrell සහ Obed McCoy ද කොදෙව් කණ්ඩායම ගොඩ දානු ඇතැයි සිතෙන පන්දු යවන්නෝ ය.

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය:Nicholas Pooran (නායක), Rovman Powell (උප නායක), Shamarh Brooks, Yannic Cariah, Johnson Charles, Sheldon Cottrell, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Evin Lewis, Kyle Mayers, Obed McCoy, Raymon Reifer, Odean Smith

සිම්බාබ්වේ

සිම්බාබ්වේ කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක් සඳහා එක් වෙන්නේ 2016 වසරේ දී ඉන්දියාවේ පැවති 6 වැනි ලෝක කුසලාන තරගාවලියෙන් පසුවයි. එම තරගාවලියේ දී පළමු වටයේ දී Group B කාණ්ඩයෙන් තරග පිටියට පිවිසෙන සිම්බාබ්වේ කණ්ඩායම එම වටයෙන් ම තම ලෝක කුසලාන ගමන මදකට නිමා කර ගන්නවා. එතෙක් ලෝක කුසලාන තරගාවලි 5ක තරග 12ක ඔවුන්ගේ දක්ෂතා වන්නේ ජයග්‍රහණ 5ක් සහ පරාජිත තරග 7ක් ලෙසයි.

එම නිමාවෙන් අනතුරුව වෙනත් තරගාවලි 20කට සහභාගී වෙන සිම්බාබ්වේ කණ්ඩායම ඉන් ජයග්‍රහණය කරන්නේ තරගාවලි 4ක් පමණයි. ඒ අතර මෙවර තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවති සුදුසුකම් ලබා ගන්නා තරගාවලියේ ශූරතාවය ද තිබෙනවා.

එබැවින් මෙවර තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායමේ දක්ෂතා සුළු කොට තැකීමේ අවකාශයක් නැහැ.

කණ්ඩායම මෙහෙයවීමේ ගෞරවය හිමි වී ඇත්තේ 37 හැවිරිදි මැදපෙළ පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දක්වන Craig Ervine වෙතයි. මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 49කට ක්‍රීඩා කර ඇති Craig Ervine අර්ධ ශතක 5ක් සමගින් ලකුණු 1020ක් ලබා සිටිනවා.

නායකයෙක් ලෙසින් අවස්ථා 23ක දී කණ්ඩායම මෙහෙයවා ඇති ඔහු ඉන් තරග 13ක් ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත් වෙනවා. පරාජිත තරග සංඛ්‍යාව 10ක්.

කණ්ඩායමේ වඩාත් බලාපොරොත්තු සහගත ක්‍රීඩකයා වන්නේ 36 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව් ක්‍රීඩක Sean Williams. මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 58කට ක්‍රීඩා කර ඇති ඔහු ලබා සිටින ලකුණු සංඛ්‍යාව 1274ක්. එය සිම්බාබ්වේ තරග ඉතිහාසයේ දෙවැනි ස්ථානයට ලැයිස්තු ගත වූ දක්ෂතාවයි. වමතින් දඟපන්දු යවන ඔහු මේ දක්වා කඩුලු 38ක් දවා ගනිමින් එම ලැයිස්තුවේ ද ඉහළින් දක්ෂතා දැක්වූවන්ගේ ලැයිස්තුවේ සිටිනවා.

ඔහුට අමතර ව 28 හැවිරිදි වියේ පසුවන Ryan Burl ද දක්ෂතා සපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින්විය හැකියි. මේ දක්වා තරග 47ක දී ලකුණු 728ක් සහ කඩුලු 32කින් ඔහුගේ දක්ෂතා ගිණුම සක්‍රීය වී තිබේ. 22 හැවිරිදි වියේ පසුවෙන Wessly Madhevere ද මේ ලැයිස්තුවට ම අයත් ක්‍රීඩකයෙක්. ඔහු තරග 36ක දී ලකුණු 795ක් සහ කඩුලු 10ක් ලබා ගනිමින් මේ ලැයිස්තුවට එක් ව සිටිනවා.

කණ්ඩායමේ විශ්වාසවන්ත ම පන්දු යවන්නා දකුණතින් වේගපන්දු යවන 27 හැවිරිදි Luke Jongwe. ඔහු මේ දක්වා තරග 38කට මුහුණ දෙමින් කඩුලු 48ක් ලබා සිටිනවා. එය එරට පන්දු යවන්නෙක් වාර්තා කරන ලද වැඩිම කඩුලු සංඛ්‍යාවයි.

ඔහුට අමතර ව වමතින් දඟපන්දු යවන Wellington Masakadza සහ දකුණතින් වේගපන්දු යවන Blessing Muzarabani ද සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නෝ ලෙසින් හැඳින්විය හැකියි.

සිම්බාබ්වේ සංචිතය: Craig Ervine (නායක), Ryan Burl, Regis Chakabva, Tendai Chatara, Brad Evans, Luke Jongwe, Clive Madande, Wessly Madhevere, Wellington Masakadza, Tony Munyonga, Blessing Muzarabani, Richard Ngarava, Milton Shumba, Sikandar Raza, Sean Williams

B කාණ්ඩයේ තරග කාලසටහන

දිනය තරගය
ඔක්තෝබර්

17

ස්කොට්ලන්තය සහ බ. ඉ. කොදෙව්වන් අතර Hobart හිදී. (දිවා/රාත්‍රී)
අයර්ලන්තය සහ සිම්බාබ්වේ අතර Hobart හිදී. (රාත්‍රී)
ඔක්තෝබර්

19

අයර්ලන්තය සහ ස්කොට්ලන්තය අතර Hobart හිදී. (දිවා/රාත්‍රී)
බ. ඉ. කොදෙව්වන් සහ සිම්බාබ්වේ අතර Hobart හිදී. (රාත්‍රී)
ඔක්තෝබර්

21

අයර්ලන්තය සහ බ. ඉ. කොදෙව්වන් අතර Hobart හිදී. (දිවා/රාත්‍රී)
ස්කොට්ලන්තය සහ සිම්බාබ්වේ අතර Hobart හිදී. (රාත්‍රී)

තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<