දෙවැනි වරටත් ශූරතාවයක පහස පතන හිරු නොබසින අධිරාජ්‍යය

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022

668

තවත් දින කිහිපයකින් ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත අටවැනි විස්සයි විස්ස ලෝක කුසලානයට මේ වන විට සියලු කටයුතු සූදානම්.

මෙවර ශූරතාවය සඳහා ඉදිරියෙන් ම සිටින කණ්ඩායම්වලින් එකක් වශයෙන් එංගලන්ත කණ්ඩායමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.

වත්මන් ICC විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ඉන්දියාවට පමණක් පසුපසින් සිටිමින් දෙවැනි ස්ථානයේ පසුවන එංගලන්තය මෙවර තරගාවලියට අවතීර්ණ වන්නේ ප්‍රබලතම පිතිකරණ අංශයක් සමඟින්. මෙවර තරගාවලියට ඔවුන් පිවිසෙන්නේ නව නායක Jos Buttlerගේ නායකත්වය යටතේයි.

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ඔවුන් මේ දක්වා එක් ශූරතාවයකට (2010) හා එක් අනුශූරතාවයකට (2016) උරුමකම් කීමට සමත් වී තිබෙනවා. ඒ අතරින් 2016 කුසලානය ඔවුන්ට අවසාන මොහොතේ මඟහැරී ගියේ සියල්ලටම වඩා අවාසනාව හරස් වෙමින්.

මෙවර තරගාවලියේ දී ඔවුන් Group 1 ඔස්සේ තරග වැදීමට නියමිතව ඇති අතර එම කාණ්ඩයට අයත් අනෙකුත් කණ්ඩායම් වන්නේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇෆ්ගනිස්තාය හා සුදුසුකම් ලැබීමේ වට දෙකෙන් තේරීපත්වන කණ්ඩායම් දෙකයි.

Image courtesy – ICC Cricket

කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන්නේ නායක Jos Buttler සමඟින් අත්දැකීම් බහුල පිතිකරු Alex Hales හෝ නවක පිතිකරු Phil Salt දෙදෙනාගෙන් එක් අයෙක්.

වසර තුනකට අධික කාලයකින් පසු පාකිස්තානය සමඟ පැවති T20I තරගාවලිය සඳහා නැවතත් කැඳවීමක් ලද Hales හා දස්කම් අතර සිටින Salt අතර එක් ස්ථානයක් සඳහා මේ වන විට විශාල තරගයක් නිර්මාණය වී තිබෙනවා.

මේ අතරින් Buttler නායකත්ව වගකීමට අමතරව කණ්ඩායමේ කඩුලු රකින්නාගේ භූමිකාව ද ඉටු කරනු ලබයි.

අංක 3 හා 4 ස්ථාන හිමිව ඇත්තේ Dawid Malanට හා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Ben Stokes හටයි. ඔවුන් දෙදෙනාගේ අත්දැකීම් මෙවර තරගාවලියේ දී ඔවුන්ට මහත් පිටිවහලක් වනු ඇත.

වර්තමාන රිද්මය අතරින් ඉහළින්ම සිටින එංගලන්ත අනාගත බලාපොරොත්තුව වශයෙන් ද හැඳින්විය හැකි නවක පිතිකරු Harry Brook අංක 5 ස්ථානයේ කටයුතු කිරීමට නියමිතයි. අංක 6 ස්ථානය වෙන්ව ඇත්තේ ප්‍රවේගකාරී පිතිකරු Liam Livingstoneටයි.

The Independent

එංගලන්තය පිතිකරණ බලඇණියේ වෙනස්කම් කිහිපයක්ම මෙවර සිදු වී ඇත්තේ පසුගිය වසර කිහිපයේම නිත්‍ය ආරම්භක පිතිකරුවෙකු වශයෙන් සිටි Jason Roy වර්තමානය වන විට දිගින් දිගටම අසාර්ථක වීම නිසා ඔහුගේ ස්ථානය අහිමි වීමත්, හිටපු නායක Eoin Morgan එම හේතුකාරණයම පදනම් කරගනිමින් ක්‍රීඩාවට සමුදීමත්, ඔවුන්ගේ විශ්වාසනීය ම පිතිකරුවකු ලෙස හැඳින්විය හැකි Jonny Bairstow ආබාධයකට ලක්වීමත් යන හේතු කාරණා නිසාවෙන්.

කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන් දෙසට නැවතත් යොමු වන විට එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන තුන් ඉරියව් ක්‍රීඩකයා වශයෙන් හැඳින්විය හැකි Moeen Ali මෙවර ඔවුන්ගේ ප්‍රබලතම තුරුම්පුවක්. දකුණත් පිට දඟපන්දු යැවීමට අමතරව ඔහු අංක 7 ස්ථානයේ පිතිකරණයේ යෙදෙනු ඇත.

Moeen සමඟින් එංගලන්ත සංයුතිය තුළ ක්‍රීඩා කරන අනෙක් ප්‍රධාන දඟපන්දු යවන්නා වන්නේ අත්දැකීම් බහුල පා දඟපන්දු යවන්නෙකු වන Adil Rashid.

The Telegraph

සංචිතයේ සිටින ප්‍රධාන වේගපන්දු යවන්නන් 5 දෙනාගෙන් තිදෙනෙකු ම පන්දු යැවීම මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයන් වීමත් සමඟ ඔවුන්ගේ පිතිකරණ පත්ල (batting depth) දිගු වීම ඔවුන්ට මහත් වාසියක්. ඔවුන් තිදෙනා වන්නේ Chris Woakes, Sam Curren හා Chris Jordanය. මොවුන්ගෙන් බොහෝ දුරට Woakes හා Jordan දෙදෙනා පමණක් අවසන් 11 දෙනාගේ සංයුතියට ඇතුළත් වනු ඇත.

මේ අතරින් Woakes නව පන්දුවේ විශේෂඥ පන්දු යවන්නෙකු වන අතර Jordan ඉනිමේ අග භාගයේ පන්දු යවන්නෙක් (death bowler) ලෙස කටයුතු කරයි.

මෙවර ඔවුන්ගේ ප්‍රබලතම වේගපන්දු යවන්නා වශයෙන් හැඳින්විය හැක්කේ Mark Woodය. අමතර වේගය තම අවිය කරගත් ඔහු වේගපන්දුවට හිතකර ඕස්ට්‍රේලියානු භූමියේ දී ප්‍රතිවාදීන්ට මහත් හිසරදයක් වනු ඇත.

සංචිතයේ සිටින අනෙක් වේගපන්දු යවන්නා වන Reece Topley වමත් වේගපන්දු යවන්නෙක්. ඔහු හා Sam Curren හැරුණුකොට අනෙකුත් වේගපන්දු යවන්නන් සියලු දෙනාම දකුණත් වේගපන්දු යවන්නන් ලෙස කටයුතු කරයි.

SKY Sports

එංගලන්ත සංයුතියේ සිටින ප්‍රධාන පන්දු යවන්නන් 5 දෙනාට අමතරව 6 වැනි පන්දු යැවීමේ විකල්පය වශයෙන් මද වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක Ben Stokes හා 7 වැනි පන්දු යවන්නා ලෙස Liam Livingstone ද සිටීම ඔවුන්ට අමතර වාසියක්.

හුරුපුරුදු වේග තණතිලි වල ක්‍රීඩා කිරීමත්, ඉතා ශක්තිමත් පිතිකරණ අංශයක් සතුවීමත් මෙවර එංගලන්ත කණ්ඩායමට ධනාත්මක වශයෙන් බලපානු ඇත. අනෙක් අතට ඔවුන්ගේ වේගපන්දු බලඇණිය අනෙකුත් ප්‍රබල කණ්ඩායම්වලට සාපේක්ෂව තරමක් පසුපසින් සිටීම සෘණාත්මක වශයෙන් බලපෑ හැක්කේ නම් දැරූ වේගපන්දු යවන්නන්ගේ හිඟකම හේතුවෙන්.

ගියවර මෙන් ම මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ දීත් ප්‍රබල වේගපන්දු යවන ක්‍රීඩක Jofra Archer ආබාධයක් හේතුවෙන් අහිමි වීම ඔවුන්ට මහත් පාඩුවක් වශයෙන් සඳහන් කළ හැක.

කෙසේ නමුත් පකිස්තානයත් සමඟ නිමා වූ තරග 7කින් සමන්විත දීර්ඝ T20I තරගාවලිය 4-3ක් වශයෙන් ජයග්‍රහණය කිරීමත් සමඟ ඔවුන් මෙවර තරගාවලියට එක්වන්නේ ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුවයි.

සමස්තයක් වශයෙන් ගත් කල මේ වන විට ලොව සිටින අංක දෙකේ විස්සයි විස්ස කණ්ඩායම වශයෙන් එම අභියෝගයන් සියල්ල ජය ගැනීමට අවශ්‍ය වන දක්ෂතා සමූහයක එකතුවක් ඔවුන් සතු ය. ඒ ඔස්සේ ඔවුන් මෙම විස්සයි විස්ස කිරුළට පෙරගමන් යන අයුරු දෙස අප විමසිල්ලෙන් බලා සිටිමු.

එංගලන්ත සංචිතය: Jos Buttler (c), Moeen Ali, Harry Brook, Sam Curran, Chris Jordan, Liam Livingstone, Dawid Malan, Adil Rashid, Phil Salt, Ben Stokes, Reece Topley, David Willey, Chris Woakes, Mark Wood, Alex Hales.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<