මෙතෙක් නොපැළඳි කිරුළකට මං සොයන කිවියන්

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022

602

‍ICC විස්සයි විස්ස ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවේ දී ඇරඹීමට ඇත්තේ තවත් දින කිහිපයක්. ඊට සහභාගී වන කණ්ඩායම් අතරින් බලාපොරොත්තු දල්වා සිටින කණ්ඩායමක් ලෙස නවසීලන්තය ඉදිරියෙන් සිටින්නේ තමන් ලෝක කුසලාන ඉතිහාසයේ මේ දක්වා සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ කුසලාන සිහිනය ද සමඟිනි.

මේ දක්වා පැවති කිසිදු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක ශූරතාවය හිමිකර ගැනීමට ඔවුන්ට නොහැකි වූ අතර ඔවුන්ගේ ඉහළම දක්ෂතාවය වන්නේ පසුගිය වසරේ දී දිනා ගත් අනුශූරතාවයයි.

ඔවුන් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ දී Group 1 යටතේ ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඇෆ්ගනිස්ථානය හා සුදුසුකම් ලැබීමේ වටයෙන් සුදුසුකම් ලබන කණ්ඩායම් දෙකක් සමඟ තරග වැදීමට නියමිතව ඇත.

සුපුරුදු පරිදි Kane Williamsonගේ නායකත්වය යටතේ තරග බිමට පිවිසෙන නවසීලන්තය වර්තමාන ICC විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි පසුවන්නේ සිව්වැනි ස්ථානයේයි.

Sportskeeda

මෙම සංයුතියේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලෙස Martin Guptill සමඟ කඩුලු රකින ක්‍රීඩක Devon Conway කටයුතු කරනු ඇත. මේ වන විට නවසීලන්ත කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලතම පිතිකරුවා වන Guptill මෙවර ක්‍රීඩා කරන්නේ ඔහුගේ 7 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහායි.

මේ අතරින් වර්තමාන රිද්මය අතින් ඉදිරියෙන් ම සිටින පිතිකරුවා වශයෙන් Conwayව සඳහන් කළ හැකි අතර ඔවුන් දෙදෙනා ම වර්තමාන ICC විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි මුල් 10 දෙනා අතර සිටී.

තවමත් T20I තරග 21ක් පමණක් ක්‍රීඩා කර ඇති පිතිකරුවෙකු වුවද Conway මෙම තරගාවලියේ විශාලතම නවසීලන්ත බලාපොරොත්තුවක් බවට පත් වී ඇත. ඒ ඔහු මේ දක්වා ක්‍රීඩා කළ කෙටි කාලසමය තුළ දී ඔප්පු කර පෙන්වූ ඔහුගේ අතිවිශිෂ්ට පිතිහරඹ විලාශය හේතුවෙනි.

අංක 3 ස්ථානය සුපුරුදු පරිදි නායක Kane Williamson කටයුතු කරනු ලබන්නේ පිතිකරණ අංශයේ විශාලතම බලාපොරොත්තුව වශයෙනි. මෙම පිතිකරණ ලැයිස්තුවේ සිටින වඩාත්ම වගකීම්සහගත පිතිකරුවා වශයෙන් හැඳින්විය හැකි නායක Williamson කණ්ඩායමේ නැංගුරම ලෙස විශාල කාර්‍යභාරයක් ඉටු කරයි.

කෙසේ නමුත් ඔහු වර්තමානයේ දී තම සුපුරුදු රිද්මයේ නොසිටීම ඔවුන්ට යම් අවාසිසහගත තත්වයකි.

India TV News

ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන Glenn Philipsගේ පිතිකරණ ස්ථානය වන්නේ අංක 4යි. තම ක්‍රීඩා දිවියේ මුල් අවධියේ දී ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළ Philips අතිරේක කඩුලු රකින්නෙකු වශයෙන් ද කටයුතු කරයි.

Conwayට අමතරව වත්මන් අතින් ඉදිරියෙන් සිටින තවත් නවසීලන්ත බලාපොරොත්තුවක් ලෙස නම් කළ හැක්කේ තුන් ඉරියව් ක්‍රීඩක Daryl Mitchellය. පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ආරම්භක පිතිකරුවෙකු ලෙස ඉතා සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කළ ඔහු මෙවර අංක 5 පිතිකරුවා ලෙස කටයුතු කිරීමට නියමිතව ඇත. ඔහු පිතිකරණය මූලික කරගත් මද වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

මෙම සංයුතියේ සිටින ප්‍රධානතම තුන් ඉරියව් ක්‍රීඩකයා වශයෙන් හැඳින්විය හැක්කේ Jimmy Neesham ය. පිතිකරණ ලැයිස්තුවේ අංක 6 ස්ථානයේ ක්‍රීඩා කරන ඔහු ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වශයෙන් ප්‍රතිවාදී පන්දු යවන්නන් හට විශාල අභියෝගයක් විය හැකි අයෙකි. ඊට අමතරව දකුණත් වේගපන්දු යවන්නෙකු වශයෙන් ඔහු පන්දු යැවීමේ අංශයට ද විශාල දායකත්වයක් ලබා දෙයි. විශේෂයෙන්ම ඉනිමේ අග භාගයේ පන්දු යවන්නෙකු (death bowler කෙනෙකු වශයෙන්) නවසීලන්තය Neesham මත බොහෝ විට විශ්වාසය තබයි.

කණ්ඩායමේ සිටින තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Mitchell Santner ද මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ නවසීලන්ත ප්‍රධාන තුරුම්පුවක් බවට පත්වීමට ඉඩ ඇත්තේ පසුගිය සමයේ දී ස්ථාවරව ඔහු ලබා දුන් දායකත්වය හේතුවෙන්.

දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Santnerව ඔවුන්ට මෙවර වඩාත් වැදගත් සාධකයක් වන්නේ එලෙසිනි. පිතිකරණ ලැයිස්තුවේ අංක 7 ස්ථානය හිමිව ඇති ඔහු ඉනිම නිමා කරන්නා වශයෙන් බොහෝ විට කටයුතු කරනු ලබයි.

NDTV Sports

Santnerට අමතරව දඟපන්දු බලඇණිය ශක්තිමත් කිරීම සඳහා කණ්ඩායමේ සිටින අනෙක් ප්‍රධාන දඟපන්දු යවන්නා වන්නේ වමත් orthodox පන්දු යවන්නෙකු වන Ish Sodhi ය. ඔහු දකුණත් පා දඟපන්දු යවන්නෙකි. ඔවුන් දෙදෙනාම වර්තමානය වන විට අත්දැකීම් සපිරි නිත්‍ය ක්‍රීඩකයන් යුගලයකි.

වේගපන්දු බලඇණියේ මූලිකත්වය සුපුරුදු පරිදි හිමිව තිබෙන්නේ අත්දැකීම් බහුල වේගපන්දු යවන ක්‍රීඩක Tim Southeeටයි. Southee සමඟ අනෙක් අන්තයෙන් පන්දු යවන Trent Boult ඔවුන්ගේ වේගපන්දු බලඇණියේ සිටින ප්‍රබලතම පුරුක වශයෙන් සැලකිය හැක. ප්‍රතිවාදී පිතිකරුවන්ගේ භීතිකාවක් ලෙස හැඳින්විය හැකි Boult වර්තමාන ක්‍රිකට් ලෝකයේ සිටින සුපිරිතම වේගපන්දු යවන්නන් කිහිප දෙනාගෙන් එක් අයෙකි.

නවසීලන්ත සංයුතියේ අවසන් 11 දෙනා අතරින් ස්ථාන 10ක්ම බොහෝ දුරට තීරණය වී ඇතත් Southee-Boult යුගලයේ සහයක තෙවැනි වේගපන්දු යවන්නා කවුරුන් වේවි ද යන්න මේ වන විට යම් තරගයක් නිර්මාණය වී ඇත.

ඒ Lachlan Ferguson හා Adam Milne දෙදෙනා අතරයි.  ඔවුන් දෙදෙනාම අමතර වේගය මූලික කරගත් වේගපන්දු යවන්නන් දෙදෙනෙකු වන අතර ඒ අතරින් බොහෝ දුරට Ferguson අවසන් 11 අතර ක්‍රීඩා කරාවි යැයි අනුමාන කළ හැක.

NDTV Sports

මොවුන්ට අමතරව සංචිතයේ සිටින අනෙකුත් ක්‍රීඩකයන් වන්නේ විශේෂඥ මැදපෙළ පිතිකරුවකු වන Mark Chapman, ආරම්භක පිතිකරුවකු හා කඩුලු රකින්නෙකු ද වන Finn Allen, දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Michael Bracewell තිදෙනායි.

සමස්තයක් වශයෙන් ගත් කල මෙවර තරගාවලිය ඔවුන්ට සුවිශේෂී වන්නේ ඔවුන්ට වඩාත් හුරුපුරුදු වේග තණතිලි වල ක්‍රීඩා කිරීම හේතුවෙන්.

ගිය වතාවේ දී කිරුළ ආසන්නයටම පිවිස අවාසනාවන්ත ලෙස අවසන් මොහොතේ දී ඔවුන්ට එය මඟහැරී යාමේ වාඩුව මෙවර ලබාගැනීම ඔවුන්ගේ ඒකායන අරමුණ වනු ඇත.

ගෙවී ගිය අවසන් වසර කිහිපය තුළ කණ්ඩායමක් වශයෙන් ස්ථාවරත්වයක් ගොඩනඟාගත් වර්තමාන විස්සයි විස්ස සංයුතිය කිසිසේත් අවතක්සේරු කළ නොහැක්කකි.

ඒ අනුව කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුතුව මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය වෙත පිවිසෙන අත්දැකීම් බහුල හා නවක දක්ෂතා සමූහයක එකතුවක් වන මෙවර නවසීලන්ත කණ්ඩායම ප්‍රතිවාදීන්ට අති විශාල අභියෝගයක් වනු ඇති බවට නොඅනුමානය.

නවසීලන්ත සංචිතය‍: Kane Williamson (c), Tim Southee, Ish Sodhi, Mitchell Santner, Glenn Phillips, Jimmy Neesham, Daryl Mitchell, Adam Milne, Martin Guptill, Lachlan Ferguson, Devon Conway, Mark Chapman, Michael Bracewell, Trent Boult, Finn Allen

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<