තරුණ ජවයත් සමඟින් ඉදිරියට යන ඇෆ්ගනිස්තානුවෝ

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022

691

අටවැනි විස්සයි විස්ස ලෝක කුසලානය එළඹෙන 16 වැනිදා ඕස්ට්‍රේලියාවේ දී ඇරඹීමට මේ වන විට සියලු කටයුතු සූදානම්.
ඊට සහභාගී වන කණ්ඩායම් අතරින් ඇෆ්ගනිස්තානය නම් දරා ඇත්තේ නැගී එන පෙරළිකාර කණ්ඩායමක් වශයෙනුයි. ගියවර මෙන්ම මෙවර ද ඔවුන්ගේ සුවිශේෂීත්වය වන්නේ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් පවා අභිබවා මුල් කණ්ඩායම් 8 අතරට සුදුසුකම් ලැබූ කණ්ඩායමක් වශයෙන් මෙම තරගාවලියට අවතීර්ණ වීමයි. වර්තමාන ICC විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි ඔවුන් පසුවන්නේ 10 වැනි ස්ථානයේයි.

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ මේ දක්වා තරගාවලි 6කට ඔවුන් සහභාගී වූව ද එහි පළමු වටවලින්ම ඉවත් වීමට ඔවුන්ට සිදු වුනා. නමුත් මෙවර තරගාවලියට එක්වන්නේ අන් සියලු වතාවල් වල තරගවැදි කණ්ඩායම්වලට වඩා ශක්තිමත් සංයුතියක්.

ඇෆ්ගනිස්තාන නායකත්වය හිමිව ඇත්තේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෙකු වන Mohammad Nabiටයි.

මෙහි දී ඔවුන් Group 1 ඔස්සේ තරග වැදීමට නියමිත අතර එම කාණ්ඩයට අයත් අනෙකුත් කණ්ඩායම් වන්නේ සත්කාරක ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය හා සුදුසුකම් ලැබීමේ වටයෙන් තේරීපත්වන කණ්ඩායම් දෙකකි.

වේගපන්දුවට උචිත ඕස්ට්‍රේලියානු භූමියේ දී වේග තණතිලි සතු රටවල් ත්‍රිත්වයක්ම ඔවුන්ගේ කාණ්ඩයෙන් තරග වැදීම ඔවුන්ට මහත් අභියෝගයක් වනු ඇත.

ගියවර මෙන්ම මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ද ඔවුන් එක්වන්නේ බාධක කම්කටොළු රැසක්ම මධ්‍යයේයි. ඒ පසුගිය වසරේ ඔවුන්ගේ රටේ පාලනය තලේබාන්වරුන් විසින් අත්පත් කරගැනීමෙන් පසු උද්ගත වූ තත්වයත් සමඟයි.

ඇෆ්ගනිස්තාන පිතිකරුවන් වන්නේ Rahmanullah Gurbaz හා Hazratullah Zazai දෙදෙනායි.ඔවුන් දෙදෙනා ම ප්‍රහාරාත්මක පිතිකරුවන් ය. මේ අතරින් ඔවුන්ගේ පිතිකරණ සංයුතියේ ප්‍රබලතම පිතිකරුවා වශයෙන් සඳහන් කළ හැකි Gurbaz ඇෆ්ගනිස්තානයේ විශාලතම බලාපොරොත්තුවකි. ඔහු කණ්ඩායමේ කඩුලු රකින්නාගේ කාර්‍යභාරය ද ඉටු කරනු ලබයි.

Image courtesy – IndiaToday

වත්මන් ICC විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි මුල් 20 දෙනා අතර සිටින එකම ඇෆ්ගනිස්තානු පිතිකරුවන් දෙදෙනා වන්නේ ද Gurbaz-Zazai යුගලයයි.

අංක 3 ස්ථානය හිමිව ඇති Ibrahim Zadran ඔවුන්ගේ පිතිකරණ නැංගුරම වශයෙන් කටයුතු කරයි.

මැදපෙළ ශක්තිමත් කිරීමේ වගකීම පැවරී ඇත්තේ අත්දැකීම් බහුලතම පිතිකරුවන් වන Najibullah Zadran හා නායක Mohammed Nabi දෙදෙනා හටයි. මේ අතරින් විස්සයි විස්ස තරග රටාවේ විශේෂඥයෙකු වන Zardan ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස නම් දැරූ පිතිකරුවෙකි.

පිතිකරණයට අමතරව දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන නායක Nabi කණ්ඩායමේ සමබරතාවය පවත්වා ගැනීමට විශාල දායකත්වයක් ලබා දෙන ඔවුන් සතු ප්‍රබලතම අවියකි. ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ඔහු දකුණත් පිට දඟපන්දු යැවීමෙන් ද කණ්ඩායමට දායකත්වයක් ලබා දෙයි.

Image courtesy – Focus News

අංක 6 ස්ථානය බොහෝ දුරට හිමිවීමට ඉඩ ඇත්තේ නවක පිතිකරු Darwish Rasooli හටයි.

වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක Azmatullah Omarzai අංක 7 ස්ථානයේ කටයුතු කිරීමට නියමිතව ඇත.

මීට අමතරව පිතිකරුවෙකු වශයෙන් සංචිතයේ සිටින ආරම්භක පිතිකරු Usman Ghani තරමක් සංයමයෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙකි.

ඇෆ්ගනිස්තාන දඟපන්දු බලඇණිය සමන්විත වී ඇත්තේ වර්තමානයේ ලොව ප්‍රබලතම දඟපන්දු යවන්නන්ගෙන් කෙනෙකු ලෙස නමක් දිනා ඇති Rashid Khanගේ ප්‍රමුඛත්වයෙනි. දකුණත් leg-break පන්දු යවන්නෙකු වන ඔහු පිතිකරණ ලැයිස්තුවේ අංක 8 පිතිකරුවා වශයෙන් ද දායකත්වයක් ලබාදෙන දක්ෂ ක්‍රීඩකයෙකි.


Rashidගේ සහයක දඟපන්දු යවන්නා වන්නේ තවත් ප්‍රබලතම තුරුම්පුවක් වන Mujeeb Ur Rahmanය. ඔහු දකුණත් off-break පන්දු යවන්නෙකි.

මොවුන් දෙදෙනා සමඟ නායක Nabiගේ පන්දුකරණයත් මුසු වූ විට මෙය අනෙක් කිසිම කණ්ඩායමක දඟපන්දු බලඇණියකට නොදෙවෙනි එකක් ලෙස අවිවාදයෙන් තොරවම නම් කළ හැක.

ඔවුන්ට අමතරව සංචිතයේ සිටින අනෙක් ප්‍රධාන දඟපන්දු යවන්නා වන්නේ Qais Ahmad ය. දකුණත් පා දඟ පන්දු යවන්නෙකු වන ඔහු ඕස්ට්‍රේලියාවේ BBL තරගාවලියේ ද දස්කම් දැක්වූ පන්දු යවන්නෙකි.

ඇෆ්ගනිස්තාන වේගපන්දු බලඇණිය සමන්විත වී ඇත්තේ Fazal Haq Farooqi, Farid Ahmad Malik, Naveen ul Haq හා Salim Safi සිව් දෙනාගෙනි. ඒ අතරින් Farooqi හා Malik දෙදෙනා කණ්ඩායමේ අවසන් 11 දෙනාගේ සංයුතිය තුළ බොහෝ දුරට ක්‍රීඩා කරනු ඇත. කණ්ඩායමේ තෙවැනි වේගපන්දු යැවීමේ විකල්පය ලෙස තුන් ඉරියව් ක්‍රීඩක Azmatullah Omarzai කටයුතු කිරීමට නියමිත ය.

වේගපන්දුවට හිතකර ඕස්ට්‍රේලියානු තණතිලි වල උපරිම වාසිය ලබා ගැනීම මෙම වේගපන්දු බලඇණියේ ප්‍රධාන අරමුණ වනු ඇත.

සමස්තයක් වශයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම අනෙක් මුල්පෙළේ කණ්ඩායම්වලට වඩා යම් මට්ටමකින් පසුපසින් සිටිය ද, ඔවුන් ඕනෑම මොහොතක පෙරළියක් සිදු කිරීමේ හැකියාවක් ඇති දක්ෂතා සමූහයක එකතුවක්.

ඔවුන් දැනටමත් මෙම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මුල් කණ්ඩායම් 8 අතරට සුදුසුකම් ලබා ඇත්තේ ද මෙම තරග රටාවේ දී ඔවුන් සිටින ස්ථානය මනාව තහවුරු කර පෙන්වමින්.

එමෙන්ම විස්සයි විස්ස නම් වූ කෙටි තරග රටාවේ දී කිසිම කණ්ඩායමක් අවතක්සේරුවට ලක් කළ නොහැකි බැවින් මෙම ඇෆ්ගනිස්තාන සංයුතියේ ශක්තිය අනෙක් සියලු කණ්ඩායම්වලට අභියෝගයක් ලෙස අවිවාදයෙන්ම තොරවම නම් කළ හැක.

එබැවින් පෙරළිකාර ඇෆ්ගනිස්තානුවන් මෙවර තරගාවලියට ප්‍රවිෂ්ට වන්නේ කෙසේදැයි අප විමසිල්ලෙන් බලා සිටිමු.

ඇෆ්ගනිස්තාන සංචිතය: Mohammad Nabi (c), Najibullah Zadran, Rahmanullah Gurbaz, Azmatullah Omarzai, Darwish Rasooli, Farid Ahmad Malik, Fazal Haq Farooqi, Hazratullah Zazai, Ibrahim Zadran, Mujeeb ur Rahman, Naveen ul Haq, Qais Ahmad, Rashid Khan, Salim Safi, Usman Ghani.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<