ශ්‍රී ලංකාව හා සටනට අයර්ලන්තය, නෙදර්ලන්තය හා නැමීබියාව

318
ICC Men's T20 World Cup

ICC 2021 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාණ්ඩ සැලැස්ම අද (16) එළිදැක්වුණා. මෙවර ලෝක කුසලාන තරගාවලිය වට 2කින් සමන්විතයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙවර සුපිරි කණ්ඩායම් 12 අතර සිය අසුන අහිමි වී තිබෙනවා. ඒ අනුව සුපිරි 12ට පිවිසීමට නම් ඔවුන් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු වටය ජය ගත යුතුයි.

ලෝක කුසලාන තරගාවලියේ පළමු වටය සඳහා කණ්ඩායම් අටක් සහභාගි වීමට නියමිතයි. ශ්‍රී ලංකාව, අයර්ලන්තය, නෙදර්ලන්තය හා නැමීබියාව A කාණ්ඩයේ තරග වදින අතර බංග්ලාදේශය, ස්කොට්ලන්තය, පැපුවා නිව් ගිනියාව හා ඕමානය B කාණ්ඩයේ තරග වදිනවා. මෙම මූලික වටය ක්‍රීඩා කරන කණ්ඩායම් 8 අතරින් කණ්ඩායම් 4කට අවසන් 12 අතරට පිවිසීමේ අවස්ථාව හිමි වෙනවා. 

සුපිරි කණ්ඩායම් 12 ද කාණ්ඩ දෙකකින් සමන්විතයි. ඉන් පළමු කාණ්ඩයට එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ඇතුළත්ව සිටිනවා. ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය හා ඇෆ්ගනිස්තානය දෙවන කාණ්ඩයේ ක්‍රීඩා කිරීමට නියමිතයි.

තවත් ක්‍රිකට් පුවත්:

තරගාවලිය සඳහා කණ්ඩායම් තෝරාගැනීම හා  කාණ්ඩගත කිරීමට පදනම් වී තිබෙන්නේ 2021 වසරේ මාර්තු මාසයේ 20 වන දින වන විට පැවති ICC විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වාර්තායි. වත්මන් විස්සයි විස්ස ශූරයින් වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එංගලන්තය, දකුණු අප්‍රිකාව හා ඕස්ට්‍රේලියාව සමඟ කාණ්ඩ ගතව තිබීම විශේෂත්වයක්.

එමෙන්ම මෙවර තරගාවලියේ දී තවත් ඉන්දු පාකිස්තාන ගැටුමක් දැක බලා ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමි වෙනවා. එම කාණ්ඩයට නවසීලන්තය හා ඇෆ්ගනිස්තානය ද ඇතුළත්.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයට නිතරගයෙන් සුදුසුකම් ලබා ගත් අතර අයර්ලන්තය, නෙදර්ලන්තය, ඕමානය, පැපුවා නිව් ගිනියාව හා ස්කොට්ලන්තය 2019 ICC විස්සයි විස්ස ලෝක කුසලාන තේරීම් තරගාවලියෙන් ලෝක කුසලානයට වරම් දිනා ගත්තා.

2021 විස්සයි විස්ස ලෝක කුසලානය එළඹෙන ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 14 දක්වා ඕමානයේ දී හා එක්සත් අරාබි එමීර් හිදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ කාණ්ඩ සැලැස්ම : 

පළමු වටය

  • A කාණ්ඩය: ශ්‍රී ලංකාව, අයර්ලන්තය, නෙදර්ලන්තය හා නැමීබියාව 
  • B කාණ්ඩය: බංගලාදේශය, ස්කොට්ලන්තය, පැපුවා නිව් ගිනියාව හා ඕමානය

සුපිරි කණ්ඩායම් 12 වටය

  • 1 කාණ්ඩය: එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, A1 and B2
  • 2 කාණ්ඩය: ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, ඇෆ්ගනිස්තානය, A2 and B1

ICC ඇසුරෙන්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<