අයි.සී.සී.ය කියන තරම් කළු නැහැ- ක්‍රීඩා ඇමැති

104

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අපේ ක්‍රිකට්වලට අනතුරු අඟවා තිබෙනවා යැයි කියන කාරණාව සම්බන්ධයෙන් නුෂ්කි මොහොමඩ් අයි.සී.සී. යේ ප්‍රධාන විධායක නිලධාරී ඩේව් රිචඩ්සන් මහතා සමඟ සාකච්ඡා කරගෙන යනවා.

ඒත් ඔය කියන තරම් යකා කළු නැතැයි ක්‍රීඩා හා සංචාරක ඇමැති නවීන් දිසානායක මහතා ඊයේ ක්‍රිකට් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

ඔහු මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

“1980 වසරේ ටෙස්ට් වරම් ලැබූ දා සිට අපි අයි.සී.සී. ය සමඟ කිසිදු ගැටලුවකට ගිහින් නැහැ. අපි රිචඩ්සන් මහත්මයා එක්ක කතා කරගෙන යනවා. සිදත් වෙත්තමුණි මහත්මයත් එක්ක සිරිනිවාසන් මහත්මයා හම්බ වෙන්නත් යන්න අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙන්ද පැවැසූ දිසානායක මහතා 50%ක් පමණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යැපී ඇත්තේ අතුරු කමිටුවලින් බවද කීය.

“මේක අලුත් දෙයක් නොවෙයි. අතුරු පාලක මණ්ඩලවල හිටිය අයට දැන් කියන්න බැහැ මේ අතුරු කමිටුව වැරදියි කියලා. මට සම්පූර්ණ අයිතිය තියෙනවා ක්‍රීඩා පනත ක්‍රියාත්මක කරන්න” යනුවෙන්ද ප්‍රකාශ කළේය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ හා අක්‍රමිකතා වළක්වා ගැනීමටයි අපි මේ කමිටුව පත් කළේ. මෙය දීර්ඝ කාලීනව පත්කරන්න අපිට අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයන් ආරක්‍ෂා කරගන්න පමණයි. ඔබලා කවුරුත් දන්නවා මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර යන මහත්වරුන්ට විවිධ ප්‍රශ්න තිබුණා. කුමාර් (සංගක්කාර) මහත්මයාගෙන් මම ඉල්ලා සිටිනවා තව අවුරුද්දක්වත් අපගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න කියලා” යනුවෙන්ද පැවැසීය.

“ලංකාවේ ක්‍රිකට් අයිති ජනතාවට. ජනතාව වෙනසක් ඉල්ලනවා වගේම මේ සම්බන්ධයෙන් ධනාත්මකව ප්‍රතිචාර රාශියක් මට ලැබී තිබෙනවා” යැයිද කීය.

ක්‍රිකට් සඳහා සැමවිටම දේශපාලන මැදිහත්වීමක් ඇති මොහොතක පත්ව ඇති අතුරු කමිටුවට ස්වාධීන තීරණ ගැනීමේ අයිතිය තමා විසින් ලබා දී ඇති බවද සඳහන් කළේය.

“ක්‍රිකට් කළමනාකරණය කරමින් ඕනෑම ස්වාධීන තීරණයක් ගැනීමට මම සිදත් වෙත්තමුණි මහත්මයා ඇතුළු අතුරු කමිටුවට භාරදීලා තියෙන්නේ. කිසිම අයුරකින් මම ඒ සඳහා ඇඟිලි ගහන්නේ නැහැ. ඒ වගේම පසුගිය නවසීලන්ත සංචාරයේ සිටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් තේරීම් සම්බන්ධයෙන් මම සෑහීමකට පත් වුණේ නැහැ.”

“අවුරුදු 4 නීති රීතියට අනුව නිශාන්ත රණතුංග මහත්මයටත්, තිලංග සුමතිපාල මහත්මයටත් නිලවරණය සඳහා ඉදිරිපත් වන්න බැහැ” යනුවෙන්ද දිසානායක මහතා කීය.

“නවීන් දිසානායක මහතා යටතේ මෙවැනි තනතුරකට පත්වීම සම්බන්ධයෙන් මම සතුටුයි. මේක ලොකු වගකීමක්. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන අපිට ලොකු ඇල්මක් ආදරයක් තියෙනවා. ඒ නිසා මම උත්සාහ ගන්නවා මහේල හා මුරලි ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණු කිරීම සඳහා දායක කරගන්න. ඒ සඳහා මහේල කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා” යනුවෙන් පැවැසූ සිදත් වෙත්තමුණි මහතා ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් උපරිම සේවය කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර පැවැති පරිපාලනයේ භාණ්ඩාගාරිකවරයා ලෙස කටයුතු කළ නුෂ්කි මොහොමඩ් මහතා අතුරු කමිටුව සඳහා පත්කිරීම සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී දිසානායක මහතා පැවැසුවේ එතුමා ගැන විශ්වාසයක් තමා තුළ ඇති බවයි.