ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතයක් චීනයට

498

මෙම මාසයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් විශේෂ පුහුණු කඳවුරක් සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් චීනයට පිටත්ව තිබෙනවා.

ක්‍රීඩා උළෙලේ මීටර් 4×400 සහය දිවීමේ කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙලෙස චීනයට පිටත්ව තිබෙන අතර එම කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙක් ඇතුළත්.

සති තුනක් පුරාවට පැවැත්වෙන මෙම පුහුණු කඳවුර ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සහ චීන මලල ක්‍රීඩා සංගමය එක්ව සංවිධානය කරන අතර ඒ සඳහා මූල්‍ය දායකත්වය සපයන්නේ චීන ඔලිම්පික් කමිටුවයි.

මෙම පුහුණු කඳවුර සඳහා පිරිමි සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කරන කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, පබසර නිකූ, රාජිත රාජකරුණා, පසිඳු දේශාන් සහ පසිඳු කොඩිකාර යන ක්‍රීඩකයින් සහභාගී වෙනවා.

එමෙන්ම මෙම කඳවුර සඳහා ක්‍රීඩිකාවන් ලෙස නදීෂා රාමනායක, සයුරි මෙන්ඩිස් සහ ජයේෂි උත්තරා සහභාගී වන අතර යොවුන් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න මෙම කඳවුරට සහභාගී වන්නේ නැහැ.

චීනය බලා පිටත් වූ මෙම කණ්ඩායමේ කළමනාකරු ලෙස මුදික තුෂාර කටයුතු කරන අතර පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ විමුක්ති ද සොයිසා මහතායි.

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන අනෙක් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා උළෙලේ දී මෙම සංචිතය සමඟ එක් වීමට නියමිත බව ද මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කර තිබුණා.

පුහුණු කඳවුර සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම,

කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, පබසර නිකූ, රාජිත රාජකරුණා, පසිඳු දේශාන්, පසිඳු කොඩිකාර, නදීෂා රාමනායක, සයුරි මෙන්ඩිස්, ජයේෂි උත්තරා.

මලල ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<