SLC නිල සෞඛ්‍ය සහකරු ලෙස නවලෝක ගිවිසුම්ගත වෙයි

145

2021 වසරේ ජුනි මස පළමු වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඉදිරි වසර 3ක කාලයක් සඳහා Nawaloka Hospitals PLC ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘නිල සෞඛ්‍ය සහකරු’ වශයෙන් තෝරාගෙන තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියා.

එම අනුග්‍රාහකත්වය යටතේ ලබා දෙන අනුග්‍රාහක මුදලට අමතරව, ගිවිසුම්ගත කාලසීමාව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත සෞඛ්‍ය සේවා ප්‍රතිලාභ රැසක් Nawaloka Hospitals PLC වෙතින් ලබා දෙනු ඇත.

ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කරන ලද පුද්ගලයින් වෙනුවෙන් වූ ප්‍රථමාධාර පුහුණුවක් ද Nawaloka Hospitals PLC විසින් ලබා දෙනු ලබන අතර එම ගිවිසුම යටතේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් ගතව සිටින සියලුම ක්‍රීඩකයින්ගේ රුධිර සාම්පල වාර්තා ඇතුළු සියලුම රසායනාගාර පහසුකම් ලබා දීමට ද එම ආයතනය සැදී පැහැදී සිටියි.

Nawaloka Hospitals PLC යනු සෞඛ්‍ය අංශයට අමතරව කර්මාන්ත, ඉදිකිරීම්, අධ්‍යාපනය මෙන්ම මිනිසුන්ගේ එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය (FMCG) වැනි විවිධාංගීකරණයෙන් යුතු සමූහ ව්‍යාපාරයක් වන Nawaloka Holdings හි කොටසකි. 

දෙපාර්ශ්වය අතර සිදු වූ සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලී ද සිල්වා මහතා, “සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ වැදගත්කම දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙන අවස්ථාවක රටේ ප්‍රමුඛතම සහ වඩාත් ගෞරවනීය පෞද්ගලික රෝහලක් වන Nawaloka Hospitals PLC හවුල්කාරීත්වය මේ අවස්ථාවේ දී අපි අගය කොට සලකනවා” යනුවෙනි. 

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නිල සෞඛ්‍ය සහකරු යන නාමයෙන් පිදුම් ලැබීම සම්බන්ධව අදහස ප්‍රකාශ කර සිටින Nawaloka Hospitals PLC නියෝජ්‍ය සභාපති හර්ෂිත් ධර්මදාස මහතා, “අපේ රටේ පමණක් නොව ලෝක ක්‍රීඩාව සම්බන්ධ තීරණාත්මක අවස්ථාවක දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ හවුල්වීමට අවස්ථාව උදා වීම අපට ගෞරවයක්. නවලෝක යනු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානයේ සිටින ආයතනයක් වගේම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සඳහා තවදුරටත් සහයෝගය දැක්වීමට අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙන් පැවසුවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<