Home Sinhala ස්කොට්ලන්තය පැරදූ ශ්‍රී ලංකාව Super Six වටයේ ඉහළටම!

ස්කොට්ලන්තය පැරදූ ශ්‍රී ලංකාව Super Six වටයේ ඉහළටම!

1478
Getty Images
Getty Images

2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පළමු වටය අපරාජිතව නිමා කරන්නට අද (27) ශ්‍රී ලංකාවට හැකි වුනා. ඒ ස්කොට්ලන්තය ලකුණු 82කින් පරාජය කර දැමීමත් සමඟයි.

ශ්‍රී ලංකා පිතිකරණය යම් තරමකින් අභියෝගයට ලක්වුනු අද දිනයේ පැතුම් නිස්සංක, චරිත් අසලංක සහ මහීෂ් තීක්ෂණ දැක්වූ දස්කම් වඩාත් කැපී පෙනුණා.

බුලවායෝ තණතිල්ලේ තීරණාත්මක කාසියේ වාසිය දිනා ගැනීමට අද ස්කොට්ලන්ත නායකයා සමත් වුනා. ඒ අනුව ඔහු පසුගිය වසර කිහිපයේ දී ම ලකුණු හඹාගොස් තරග රැසක් ජයගෙන ඇති අතීතය සිහිපත් කරමින් මුලින් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ඇරයුම් කළා. තරගාවලිය තුල අඛණ්ඩව සිව්වැනි වරටත් ශ්‍රී ලංකාව අද තරගයට මුහුණ දුන්නේ කණ්ඩායමේ කිසිදු වෙනස්කමකින් තොරවයි.

මේ දක්වා කිසිදු තර්ජනයක් එල්ල නොවුනු ශ්‍රී ලංකා පිතිකරණ බල ඇණියට අද පළමු වරට ස්කොට්ලන්ත පන්දු යවන්නන්ගෙන් හොඳ අභියෝගයක් එල්ල වුනා. ඒ අනුව එක දිගට අර්ධ ශතක 3ක් සහ ශතකයක් ලබා සිටි දිමුත් කරුණාරත්න අද ලකුණු 7කට දැවී ගියේ Chris Sole යැවූ පන්දුවක් නොසිතූ ලෙස පහතින් කඩුල්ල වෙත ඇදී ඒම නිසයි. එතකින් නොනැවතුනු Sole එක් ලකුණක් ලබා සිටි කුසල් මෙන්ඩිස්වත් දවා ගත්තා.

අද පන්දු 15ක් පුරාවට සිරවී සිටි කුසල් මෙන්ඩිස් අවසානයේ පීඩනය නිදහස් කිරීමේ අටියෙන් එල්ල කිරීමට ගිය කට් පහර, පොයින්ට් කලාපයේ සිට Michael Leask දෙවැනි උත්සාහයේ දී රැක ගත්තා. එහි රහස වුනේ පන්දුව වෙත නිබඳවම තම ඇස රඳවාගෙන සිටීමයි. ඉන්පසු සදීර සමරවික්‍රම සහ පැතුම් නිස්සංක අතරේ ලකුණු 55ක සබඳතාවයක් ගොඩ නැගුනත් සදීර ලකුණු 26කට දැවී ගියා. ඒ කුසල් මෙන්ඩිස් දැවී ගිය පරිද්දෙන්මයි.

අද සාර්ථක ඉනිමක් ගොඩ නගමින් බිඳ වැටෙන ශ්‍රී ලංකා ඉනිම රැක දෙමින් සිටි පැතුම් නිස්සංක ලකුණු 75 දී දැවී ගියේ Mark Watt යැවූ දුර්වලම පන්දුවකටයි. තණතිල්ලේ මැද කෙටී ආ පන්දුවට පැතුම් එල්ල කළ පුල් පහර Tomas Mackintoshට පහසු උඩපන්දුවක් ලබා දුන්නා. මෙම තරගාවලිය පුරාම පිත්තෙන් යමක් කළ නොහැකි වූ දසුන් ශානකට අද හිතේ හැටියට ලකුණු රැස් කිරීමට පන්දුවාර 10ක්ම ඉතිරිව තිබුණ ද, ශ්‍රී ලංකා නායකයා අදත් තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියා.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක අද පන්දු 65කින් ලකුණු 63ක් රැස් නොකරන්නට ශ්‍රී ලංකාව විශාල ගැටලුවකට මැදි වෙන්නට ඉඩ තිබුණා. එක් අන්තයකින් කඩුලු බිඳ වැටෙද්දී ඔහු පා ඉන්න දෙසින් ආක්‍රමණශීලී හයේ පහර දෙකක් සහ අලංකාර හතරේ පහර 4ක් එල්ල කළා. ශ්‍රී ලංකා ඉනිම අවසන් පන්දුවාරයේ දී සියල්ලන්ම දැවී අවසන් වන විට ලකුණු පුවරුවට එකතු වී තිබුනේ ලකුණු 245ක් පමණයි.

පන්දු යැවීමේ දී Chris Greavesගේ දකුණත් පා දඟපන්දුවට ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන් සිව් දෙනෙකු මෙල්ල වුනා. මීට අමතරව කඩුල්ලට සෑහෙන තරම් පිටුපසින් පන්දුව මුදා හරිමින් Mark Watt කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා. මීට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තණතිලිවලට වඩා අද බුලවායෝ පිටියේ පන්දුවේ යම් මන්දගාමී බවක් සහ පහතින් ඇදී ඒමක් දකින්නට ලැබුණු අතර ලකුණු රැස් කිරීම සිතූ තරම් පහසු වුනේ නැහැ.

ඉතා විශාල ලකුණු සංඛ්‍යා වාර්තා වුනු මෙම තරගාවලිය තුල ස්කොට්ලන්තයට ඓතිහාසික එක්දින ජයක් වාර්තා කිරීමේ ස්වර්ණමය අවස්ථාවක් අද නිර්මාණය වුවත් මුල්පෙළ පිතිකරුවන් ඉන් ප්‍රයෝජන ගත්තේ නැහැ. Matthew Crossගේ කඩුල්ල දෙවැනි පන්දුවාරයේ දීම බිඳ හෙලමින් ලහිරු කුමාර ශ්‍රී ලංකාවට සුබවාදී ආරම්භයක් ලබා දුන්නා.

පසුගිය තරග කිහිපයේ දී වනිඳුගේ සෙවණැල්ලෙන් වැසී සිටි මහීෂ් තීක්ෂණ අද පළමු පවර්ප්ලේ අවස්ථාව තුල දී ම පන්දුව අතට ගනිමින් ශතකලාභී Brandon McMullenව සම්පූර්ණයෙන්ම පරාජය කරමින් පන්දුව කඩුල්ල වෙත යොමු කළා. ඉන්පසු නැවතත් ක්‍රියාත්මක වුනු තීක්ෂණ Christopher McBrideව දවා ගැනීමට අවස්ථාවක් උදාකර දුන්න ද කසුන් රාජිත එම පහසු උඩපන්දුව බිඳ අත හැරියා.

නමුත් වනිඳුගේ පන්දුවක් හමුවේ දසුන් ශානක රැකගත් අනර්ඝ උඩපන්දුවක් සමඟින් ඔහු ලකුණු 29 දී දැවී ගිය නිසා ශ්‍රී ලංකාවට ඉන් බරපතළ හානියක් සිදු වුනේ නැහැ. දිගින් දිගටම කඩුලු බිඳ වැටීම නිසා ස්කොට්ලන්ත ඉනිමට ලකුණු 100ක් එකතු වෙද්දී ඔවුන්ගේ පිතිකරුවන් 8 දෙනෙකු ක්‍රීඩාගාරයේ නරඹන්නන් බවට පත්ව සිටියා. අයර්ලන්තය තරගයේ ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් පෙරළිකාර ජයක් අත්කර දුන් Michael Leask ද ඒ අතර සිටියා.

ඉන්පසු 9 වැනි කඩුල්ල වෙනුවෙන් Chris Sole සහ Chris Greaves අතරේ අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නැගුණ ද, අවසානයේ දුවද්දී දැවී යාමක් මගින් එම අගනා සබඳතාවය බිඳ හෙළීමට ශ්‍රී ලංකාවට හැකි වුනා. මේ නිසා ස්කොට්ලන්තය ලකුණු 163කට නතර කර ගැනීමට ශ්‍රී ලංකාවට අපහසු වුනේ නැහැ. අද පන්දුවෙන් වැඩි දස්කම් පෙන්වූ මහීෂ් තීක්ෂණ තම පන්දුවාර 10 ලකුණු 41කට නිමා කළේ කඩුලු 3ක් ද දවා ගනිමින්. ඔහු තරගයේ වීරයා ලෙසින්ද පිදුම් ලැබුවා.

Result


Scotland
163/10 (29)

Sri Lanka
245/10 (49.3)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Tomas Mackintosh, b Mark Watt 75 85 10 0 88.24
Dimuth Karunaratne b Chris Sole 7 9 1 0 77.78
Kusal Mendis c Michael Leask b Chris Sole 1 16 0 0 6.25
Sadeera Samarawickrama c Michael Leask b Alasdair Evans 26 35 4 0 74.29
Charith Asalanka c Matthew Cross b Mark Watt 63 65 4 2 96.92
Dhananjaya de Silva b Chris Greaves 23 31 2 0 74.19
Dasun Shanaka c Chris Sole b Chris Greaves 0 1 0 0 0.00
Wanindu Hasaranga c Chris Sole b Chris Greaves 15 12 2 0 125.00
Mahesh Theekshana not out 16 21 1 0 76.19
Kasun Rajitha lbw b Mark Watt 1 6 0 0 16.67
Lahiru Kumara c & b 5 17 0 0 29.41


Extras 13 (b 0 , lb 3 , nb 1, w 9, pen 0)
Total 245/10 (49.3 Overs, RR: 4.95)
Fall of Wickets 1-34 (4.2) Dimuth Karunaratne, 2-43 (8.4) Kusal Mendis, 3-98 (19.2) Sadeera Samarawickrama, 4-142 (28.2) Pathum Nissanka, 5-203 (39.2) Dhananjaya de Silva, 6-203 (39.3) Dasun Shanaka, 7-207 (40.4) Charith Asalanka, 8-223 (43.1) Wanindu Hasaranga, 9-228 (44.4) Kasun Rajitha, 10-245 (49.3) Lahiru Kumara,

Bowling O M R W Econ
Chris Sole 10 1 46 2 4.60
Brandon McMullen 5 0 19 0 3.80
Jack Jarvis 3 0 15 0 5.00
Alasdair Evans 7 0 35 1 5.00
Christopher McBride 2 0 13 0 6.50
Mark Watt 10 0 52 3 5.20
Michael Leask 6 0 30 0 5.00
Chris Greaves 6.3 0 32 4 5.08


Batsmen R B 4s 6s SR
Christopher McBride c Dasun Shanaka b Wanindu Hasaranga 29 38 2 1 76.32
Matthew Cross b Lahiru Kumara 7 4 1 0 175.00
Brandon McMullen b Mahesh Theekshana 5 11 1 0 45.45
Richie Berrington c Dhananjaya de Silva b Mahesh Theekshana 10 20 2 0 50.00
Tomas Mackintosh, lbw b Kasun Rajitha 3 8 0 0 37.50
Michael Leask lbw b Dasun Shanaka 5 12 1 0 41.67
Chris Greaves not out 56 41 7 2 136.59
Mark Watt lbw b Wanindu Hasaranga 14 17 2 0 82.35
Jack Jarvis lbw b Mahesh Theekshana 0 2 0 0 0.00
Chris Sole run out (Lahiru Kumara) 17 21 2 0 80.95
Alasdair Evans run out (Kusal Mendis) 0 0 0 0 0.00


Extras 17 (b 0 , lb 7 , nb 0, w 10, pen 0)
Total 163/10 (29 Overs, RR: 5.62)
Fall of Wickets 1-14 (1.4) Matthew Cross, 2-38 (6.2) Brandon McMullen, 3-55 (10.2) Richie Berrington, 4-60 (11.6) Tomas Mackintosh,, 5-73 (14.3) Christopher McBride, 6-74 (15.6) Michael Leask, 7-99 (20.5) Mark Watt, 8-100 (21.2) Jack Jarvis, 9-155 (28.3) Chris Sole, 10-163 (28.6) Alasdair Evans,

Bowling O M R W Econ
Kasun Rajitha 5 0 25 1 5.00
Lahiru Kumara 5 0 30 1 6.00
Mahesh Theekshana 10 0 41 3 4.10
Wanindu Hasaranga 6 0 42 2 7.00
Dasun Shanaka 1 1 0 1 0.00
Dhananjaya de Silva 2 0 18 0 9.00



මේ අනුව 2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මූලික වටයේ තරග සියල්ල අදින් අවසන් වන අතර සුපිරි 6 දෙනාගේ වටය අනිද්දා (29) සිට ඇරඹීමට නියමිතයි. එහි දී තරගාවලියේ නීති අනුව මූලික වටයෙන් ලකුණු 4 බැගින් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ ඉදිරි වටයට රැගෙන යන අතර ලකුණු 2 බැගින් ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තය සුපිරි 6 දෙනාගේ වටයට රැගෙන යනවා.

මේ නිසා සුපිරි 6 දෙනාගේ වටය ඇරඹෙන්නේම ශ්‍රී ලංකාවට සහ සිම්බාබ්වේ දේශයට ආරම්භක වාසියක් ගෙන දෙමින්. එහි දී කණ්ඩායම් තමන් මූලික වටයේ ක්‍රීඩා නොකළ කණ්ඩායම් සමඟ පමණක් සුපිරි 6 දෙනාගේ වටයේ දී සටන් වදින අතර ශ්‍රී ලංකාව ජුනි 30 වැනිදා නෙදර්ලන්තය සමඟත්, ජූලි 02 වැනිදා සිම්බාබ්වේ සමඟත්, ජූලි 07 වැනිදා බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟත් තරග වදිනවා.

එම තරග සියල්ලේ උණුසුම් තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න සයිබර් අවකාශයේ ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<