දිමුත් සහ කුසල්ගෙන් ශතක; මතීෂගෙන් හොඳ පන්දු යැවීමක්

එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීම තරගාවලිය 2023

3429
එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීම තරගාවලිය 2023

සිම්බාබ්වේ හිදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අද (15) පැවති දෙවැනි පුහුණු තරගයෙන් ඇමරිකාව පරදවා ලකුණු 198ක ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

Bulawayo හී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇමරිකා ක්‍රීඩකයින්ගේ ආරාධනාවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 392ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක සම්බන්ධතාව ලකුණු 39කට සීමා වූ අතර පැතුම් නිස්සංකට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 25ක් පමණයි.

නමුත් පසුව පිටියේ එක් වූ දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ප්‍රතිවාදි පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් දෙවැනි කඩුල්ලට ලකුණු 221ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වුනා.

පන්දු 91කට මුහුණ දෙමින් හයේ පහර 6ක් සහ හතරේ පහර 7ක් සමඟ ලකුණු 105ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වෙද්දී, දිමුත් කරුණාරත්න පන්දු 100ක් තුළ හතරේ පහර 15ක් සමඟ රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 111ක්.

ශ්‍රී ලංකා ලකුණු පුවරුවට අවශ්‍ය මොහොතේ වේගවත් ඉනිමක් දියත් කළ චරිත් අසලංක පන්දු 37ක් තුළ හයේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 62ක් රැස් කරද්දී, නායක දසුන් ශානක නොදැවී ලකුණු 61ක් ලබා ගැනීමට සමත් වුනේ පන්දු 30ක් තුළයි.

ලකුණු 393ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඇමරිකා කණ්ඩායම පන්දුවාර 33.2ක් අවසානයේ ලකුණු 194කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා.

ඇමරිකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Monank Patel සටන්කාමී ඉනිමක් දියත් කරමින් ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වූ අතර Shanjan Jahanjar නොදැවී ලකුණු 63ක් රැස් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක හිසරදයක් වෙමිනුයි.

පන්දු යැවීමේ දී කැපී පෙනෙන දස්කම් පෙන්නුම් කළ මතීෂ පතිරණ ලකුණු 34ක් තුළ කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර මෙම තරගයේ දීත් සාර්ථක වූ කසුන් රාජිත ලකුණු 28කට කඩුලු දෙකක් දවා ගත්තා.

එමෙන්ම පෙර තරගය ක්‍රීඩා නොකළ පා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග මෙම තරගයේ දී පන්දු යවමින් ලකුණු 32කට කඩුලු දෙකක් දවා ගත්තා.

ශ්‍රී ලංකාව – 392/5 (50): දිමුත් කරුණාරත්න 111, කුසල් මෙන්ඩිස් 105, චරිත් අසලංක 62*, දසුන් ශානක 61*.

ඇමරිකාව – 194 (33.2): Monank Patel 68, Shanjan Jahanjar 63*, මතීෂ පතිරණ 4/34, කසුන් රාජිත 2/28, වනිඳු හසරංග 2/32.

මේ සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පුහුණු තරග දෙකම ජයග්‍රාහීව අවසන් කළ අතර ඔවුන් සහභාගී වන පළමු තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ සඳුදා (19) පැවැත්වීමට නියමිතයි.

එම තරගය ඇතුළු සමස්ත තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<