නවතම ලෝක දැල්පන්දු ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි 

791

ජාත්‍යන්තර දැල්පන්දු සම්මේලනය (INF) විසින් නවතම ලෝක දැල්පන්දු ශ්‍රේණිගත කිරීම් නිකුත් කර ඇති අතර ශ්‍රී ලංකාව එහි තවදුරටත් 18 වන ස්ථානයේ රැඳී සිටියි. 

නව කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ජාත්‍යන්තර දැල්පන්දු තරග දින නියමයකින් තොරව කල් දමා ඇති අතර පෙර පවත්වනු ලැබූ අවසන් තරග කිහිපය සැලකිල්ලට ගනිමින් මෙම නව ශ්‍රේණිගත කිරීම නිකුත් කර ඇත. ඒ අනුව පසුගිය මැයි මස 29 වන දින දක්වා පවත්වා ඇති තරග ඒ සඳහා ඉවහල් කරගෙන ඇත. 

මෙම නව ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාව 18 වන ස්ථානයේ රැඳී සිටින අතර ඊට ඉහළින් 17 වන ස්ථානයේ ෆීජි රාජ්‍යයත්, පහළින් 19 වන ස්ථානයේ ටොන්ගා රාජ්‍යයත් රැඳී සිටිති. තවද එංගලන්තය එහි සිව්වන ස්ථානයට ඇද දමමින් ජැමෙයිකාව ශ්‍රේණිගත කිරීම් වල තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත. එහි පළමු ස්ථානයේ සිටින ඕස්ට්‍රේලියාව සහ දෙවන ස්ථානයේ සිටින නවසීලන්තය අතර ලකුණු පරතරය ද අඩු වී ඇත. 

කෙසේ නමුත් තවමත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් (207) නවසීලන්තයට (182) වඩා ශ්‍රේණිගත කිරීමේ ලකුණු 25ක් ඉදිරියෙන් පසුවෙයි. අනෙක් පසින් තෙවන හා සිව්වන ස්ථාන වල පිළිවෙලින් පසුවන ජැමෙයිකාව මෙන්ම එංගලන්තය ද ශ්‍රේණිගත කිරීමේ ලකුණු 172 බැගින් හිමිකර ගෙන සිටින නමුත් එහිදී ජැමෙයිකාව අඩු තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති බැවින් ඔවුන් ඉදිරියට පැමිණ ඇත. 

තවත් කියවන්න; 

2019 වසරේ දී පැවති ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය අවසානයේ සිට මේ දක්වාම ශ්‍රී ලංකාව කිසිඳු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නැත. නමුත් 2018 වසරේ ආසියානු දැල්පන්දු ශූරතාවය ද ඇතුළුව පසුගිය වසර 2ක කාලය පුරාවට ඔවුන් දැක්වූ ඉහළ දක්‍ෂතා හේතුවෙන් මේ ආකාරයට ඔවුන් තවදුරටත් ශ්‍රේණිගත කිරීම් වල 18 වන ස්ථානය තහවුරු කරගැනීමට සමත්ව ඇත. 

ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාවට ආසන්නයේම සිටින ආසියාතික කණ්ඩායම වන මැලේසියාව 25 වන ස්ථානය දක්වා ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙන විට අනෙක් පසින් සිංගප්පූරුව එක් ස්ථානයක් පසුපසට යමින් 29 ස්ථානය දක්වා පසුබැස ඇත. තවත් ආසියාතික කණ්ඩායමක් වන හොං කොං රාජ්‍යයට හිමිව තිබෙන්නේ ශ්‍රේණිගත කිරීම් වල 34 වන ස්ථානය යි. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න මුල් පිටුවට <<