​ශ්‍රී ලංකාවත් ඕමානයත් හමුවෙන තීරණාත්මක තරගය

ICC Cricket World Cup Qualifier 2023

15707
ICC Cricket World Cup Qualifier 2023

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මේ මස 23 වැනිදා ඕමානය සමඟ තරග වැදීමට නියමිතයි.

මෙම කණ්ඩායම් 2 එක්දින ජාත්‍යන්තර තරගයක දී එකිනෙකා හමුවෙන පළමු අවස්ථාව මෙය වන අතර තරගය Bulawayo හී Queens ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ දී මෙම කණ්ඩායම් 2 ම මෙතෙක් තරගය බැගින් අවසන් කර තිබෙනවා. නිමා වූ එම තරගවල දී ශ්‍රී ලංකාව UAE කණ්ඩායමට එරෙහිව ලකුණු 175ක දැවැන්ත ජයග්‍රහණයක් සහ ඕමානය අයර්ලන්තයට එරෙහිව කඩුලු 5ක පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කරනවා. එබැවින් තරගාවලියේ ඉදිරියට යෑමට නම් මෙම තරගයේ ජයග්‍රහණය දෙපිලට ම එක සේ වැදගත් වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම

පළමු තරගයේ දී ම පහසු ජයග්‍රහණයක් කරා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම උත්තේජනයත් සමඟිනුයි මෙම තරගයට පිවිසෙන්නේ. ඕමානය ලොව එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී මේ වන විට 18 වැනි ස්ථානයේ රැඳී සිටීමත්, ශ්‍රී ලංකාව එහි 9 වැනි ස්ථානයේ රැඳී සිටීමත් හේතුවෙන් ඊට තවත් වාසිදායක තත්ත්වයක් නිර්මාණය වෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පෙර තරගයේ දී පෑ දක්ෂතා දිගින් දිගට ම ගෙන යන්නේ නම් මෙම තරගාවලියේ ඉදිරියට පැමිණීම අපහසුවක් නොවන බැව් මේ වන විට ඒත්තු ගැන්වෙමින් පවතිනවා.

විශේෂයෙන් ම පිතිකරණ ලැයිස්තුවේ අංක 5 දක්වා වූ ක්‍රීඩකයෝ ලකුණු අතරට පිවිසෙමින් කණ්ඩායමේ ස්ථාවරත්වය ගොඩ නගද්දී, පන්දු යවන්නෝ ද තම යුතුකම් මනා ලෙස හැසිර වූ ආකාරය ප්‍රශංසනීය තත්ත්වයේ පවතිනවා. එය ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වසනීයත්වය ස්ථිර කර ගැනීමට බෙහෙවින් බලපානවා.

එබැවින් පෙර තරගයකට ක්‍රීඩා කළ කණ්ඩායම ම මෙම තරගයේ දී ද ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කළ හැකි. එනිසා ආබාධිත තත්ත්වයට පත් දුෂ්මන්ත චමීර එම තත්ත්වයෙන් සුව වූව ද තව දුරටත් විවේක ගැන්වෙනු ඇතැයි සිතේ.

ඕමානය සමඟ තරගයේ දී ක්‍රීඩා කරතැයි අනුමාන කෙරෙන ශ්‍රී ලංකා කණ්ඩායම: දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා) සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ලහිරු කුමාර.

ඕමාන කණ්ඩායමේ සූදානම

2019 වසරේ දී එක්දින ජාත්‍යන්තර වරම් හිමි කර ගත් ඕමාන කණ්ඩායම මෙතෙක් මුහුණ දී ඇත්තේ තරගාවලි ත්‍රිත්වයක තරග 40කට පමණයි. ඉන් තරග 22ක් ජයග්‍රහණය කරන අතර පරාජිත තරග 16ක්, ලකුණු සම වීමෙන් අවසන් වූ තරගයක් සහ නොවිසඳුණ තරගයක් ද ඒ අතර තිබෙනවා.

ශ්‍රී ලංකාව සමඟ තරගයේ දී ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කෙරෙන ඕමාන කණ්ඩායම:Zeeshan Maqsood (නායක) Kashyap Prajapati, Jatinder Singh, Aqib Ilyas, Mohammad Nadeem, Ayaan Khan, Shoaib Khan, Naseem Khushi (කඩුලු රකින්නා), Jay Odedra, Fayyaz Butt, Bilal Khan.

අවධානය යොමු කළ යුතු ඕමාන් ක්‍රීඩකයෝ

Zeeshan Maqsood

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන 35 හැවිරිදි වියේ පසුවෙන Zeeshan Maqsood ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ අවධානයට ලක් විය යුතු ප්‍රධානතම ක්‍රීඩකයායි. කණ්ඩායමේ නායකයා ද වන ඔහු මේ දක්වා එක්දින තරග 38කට මුහුණ දෙමින් ශතක 2ක් සමඟින් ලකුණු 1080ක් ලබා සිටිනවා. වමතින් දඟපන්දු යවන ඔහු මේ දක්වා දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 54ක්.

ඔහු මෙම තරග 38 ම ක්‍රීඩා කරන්නේ නායකත්වයේ කටයුතු කරමින් වීම විශේෂත්වයක් වන අතර ඉන් තරග 21ක් ජයග්‍රහණය කරා රැගෙන යෑමට ඔහු සමත් වෙනවා. පරාජිත තරග 15ක් වන අතර ලකුණු සම වීමෙන් සහ නොවිසඳුණ ලෙසින් තරග ද්විත්වයක් ද ඔහුගේ නායකත්ව ඉනිම් අතර ඇතුළත්.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අයර්ලන්තය සමඟ නිමා වූ තරගයේ දී පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 59ක් ලබා ගත් Zeeshan Maqsood තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණා.

Kashyap Prajapati

කණ්ඩායමේ ආරම්භක පිතිකරුවායි. 27 හැවිරිදි වියේ පසුවන ඔහු මේ දක්වා එක්දින තරග 25කට ක්‍රීඩා කරමින් ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 771ක් ලබා සිටිනවා. නිමා වූ අයර්ලන්තය සමඟ තරගයේ දී පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 72ක් ලබා ගනිමින් ඕමානය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා ද වූයේ ඔහුයි.

Jatinder Singh

ඕමානය ක්‍රීඩා කරන ලද සියලුම තරගවලට එක් වූ එක ම ක්‍රීඩකයා වන්නේ 34 වැනි වියේ පසුවෙන Jatinder Singh. ඔහු මේ දක්වා ක්‍රීඩා කරන ලද එක්දින තරග 40 දී ශතක 3ක් සමඟින් ලකුණු 1156ක් ලබා ගනිමින් ඕමාන පිතිකරණ ලැයිස්තුවේ පළමුවැනියා, ඉනිමක වාර්තා කරන ලද වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු සහ වැඩිම ශතක වාර්තා කරන ලද පිතිකරු ලෙසින් ඉහළ ම අසුන හිමිකරගෙන සිටිනවා.

Aqib Ilyas

30 හැවිරිදි වියේ පසුවන ඉදිරි පෙළ පිතිකරු Aqib Ilyas මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 19කට ක්‍රීඩා කරමින් ශතක 2ක් සහ අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 864ක් ලබා සිටිනවා. දඟ පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දක්වන ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 20ක්.

Mohammad Nadeem

පාකිස්තානයේ උපත ලද Mohammad Nadeem කණ්ඩායම හා එක් වී ඇත්තේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසයි. ඔහු මේ දක්වා එක්දින තරග 28කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 574ක් සහ කඩුලු 17ක් ලබා සිටිනවා.

Bilal Khan

වමතින් වේගපන්දු යවමින් ඉනිම ආරම්භ කරන 35 හැවිරිදි Bilal Khan ඕමානය වෙනුවෙන් වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නායි. ඔහු මේ දක්වා එක්දින තරග 39කට ක්‍රීඩා කරමින් කඩුලු 83ක් ලබා සිටිනවා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට ළඟා විය හැකි කඩඉම්

  • චරිත්අසලංකට එක්දින ජාත්‍යන්තර ලකුණු 1000ක් වාර්තා කිරීමට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 46ක් පමණයි.
  • දිමුත් කරුණාරත්නට එක්දින ජාත්‍යන්තර ලකුණු 1000ක් වාර්තා කිරීමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 69ක් පමණයි.
  • පැතුම් නිස්සංකට එක්දින ජාත්‍යන්තර ලකුණු 1000ක් වාර්තා කිරීමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 96ක් පමණයි.

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සියලු තොරතුරු සැනෙකින් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<