ආණ්ඩුකාර කුසලානය මොරටුව ක්‍රීඩා සමාජයට

ආණ්ඩුකාර කුසලාන ක්‍රිකට් තරගාවලිය 2021

600

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවති ‘2021 ආණ්ඩුකාර කුසලාන’ (Governor’s Trophy) ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මොරටුව ක්‍රීඩා සමාජය ඊයේ (6) සමත් වුනා.

කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී පැවති එම අවසන් මහා තරගයේ දී ආදි ධර්මපාල ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 64ක ජයක් වාර්තා කරමින් ආණ්ඩුකාර කුසලානය තමන් සතු කර ගැනීමට මොරටු ක්‍රීඩකයින් සමත් වුනා.

පන්දුවාර 50 තරගාවලියක් ලෙසින් පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් මොරටුව ක්‍රීඩා සමාජය නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 8කට ලකුණු 240ක් ලබා ගැනීමට සමත් වුනා.

එය හඹා යෑමේ දී ආදි ධර්මපාල කණ්ඩායම පන්දුවාර 42කුත් පන්දු 2ක් අවසානයේ දී සියලුම පිතිකරුවන් ලකුණු 176කට සීමා කිරීමට මොරටු පන්දු යවන්නන් සමත් වුනා.

පළමුව පන්දුවට පහර දුන් මොරටුව කණ්ඩායම වෙනුවෙන් නායක නයන ප්‍රනාන්දු පන්දු 82ක දී හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් සමඟින් ලකුණු 75ක් ද, යොහාන් පෙරේරා ලකුණු 45ක් ද ලබා ගත්තා. ආරම්භක පිතිකරු සිතර හපුහින්න ලකුණු 38ක් ලබා ගනිමින් පිතිකරණයෙන් වැඩි මෙහෙයක් ඉටු කළා.

එම ඉලක්කය හඹා යෑමේ දී ආදි ධර්මපාල කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 25ක් ඇතුළත දී දවා ගැනීමට මොරටු පන්දු යවන්නන් සමත් වූ අතර ඩිල්ෂාන් මෙන්ඩිස්, තෙවින් ඊරියගම සහ සවිඳු පීරිස් පන්දුවෙන් වැඩි දස්කම් දැක්වූවා. මොවුන් තිදෙනා කඩුලු 3 බැගින් දවා ගනු ලැබුවේ පිළිවෙළින් ලකුණු 27, 19 සහ 40 බැගින් ලබා දෙමින්.

කෙසේ වෙතත් මැද පෙළින් පැමිණි අයේෂ් හර්ෂන පන්දු 96ක දී ලකුණු 59ක් සහ පසු පෙළින් පැමිණි ශානක සම්පත් පන්දු 68ක දී ලකුණු 51ක් වශයෙන් අර්ධ ශතක රැස් කළත්, එම දක්ෂතා ආදි ධර්මපාලයීන්ගේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වුනේ නැහැ.

තරගාවලියේ ශූරතාව දිනා ගත් මොරටුව ක්‍රීඩා සමාජයට ශූරතා කුසලානයට අමතරව රුපියල් ලක්ෂ දෙකක මුදලක් සහ අනුශූරතාවය දිනා ගත් ආදි ධර්මපාල කණ්ඩායමට රුපියල් ලක්ෂයක මුදලක් ද පිරිනමනු ලැබුවා.

ලකුණු සාරාංශය,

  • මොරටුව ක්‍රීඩා සමාජය පන්දුවාර 50ක දී කඩුලු 8කට ලකුණු 240 – නයන ප්‍රනාන්දු 75, යොහාන් පෙරේරා 45, සිතර හපුහින්න 38, ශානක සම්පත් 3/48.
  • ආදි ධර්මපාල ක්‍රීඩා සමාජය පන්දුවාර 2ක දී සියලු දෙනා දැවී ලකුණු 176 – අයේෂ් හර්ෂණ 59, ශානක සම්පත් 51, රජිත වීරසිංහ 22, තෙවින් ඊරියගම 3/19, ඩිල්ෂාන් මෙන්ඩිස් 3/27, සවිඳු පීරිස් 3/40.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<