ශ්‍රී ලංකාව සහ UAE අතර ගැටුමට පෙර

ICC Cricket World Cup Qualifier 2023

3644
ICC Cricket World Cup Qualifier 2023

13 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකාව තම පළමු අවස්ථාව උරගා බැලීම සඳහා මේ මස 19 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) සමඟින් Bulawayo ක්‍රීඩාංගණයට එක් වෙනවා.

දෙරට එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ මේ දක්වා පවත්වා ඇත්තේ තරග 2ක් පමණක් වන අතර එම තරග 2න් ම ජයග්‍රහණය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවයි.

එහි ඉතිහාසයේ දෙරට ක්‍රීඩකයෝ මුල්වරට හමුවෙන්නේ 2004 වසරේ මෙරට දී පැවති ආසියානු කුසලාන තරගාවලියේ දී. එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මහේල ජයවර්ධන විසින් මෙහෙයවූ අතර UAE කණ්ඩායම Khurram Khan විසින් මෙහෙයවනවා.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 116ක ජයක් හිමි වන අතර තරගාවලියේ ජයග්‍රාහකයන් වන්නේ ද ශ්‍රී ලංකාවයි.

අනතුරුව නැවත දෙරටේ ක්‍රීඩකයෝ හමුවෙන්නේ 2008 වසරේ දී පාකිස්තානයේ දී පැවති ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන්. එම තරගයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මහේල ජයවර්ධන සතු වූ අතර UAE නායකත්වය Saqib Ali සතු වුනා. එම තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 142ක ජයග්‍රහණයක් හිමි වූ අතර තරගාවලියේ ජයග්‍රහණය ද ශ්‍රී ලංකාව සතු වුනා.

එම තරගවලින් පසුව දෙරට ක්‍රීඩකයෝ මෙවර හමුවෙන්නේ වසර 15කට පසුවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම

ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා එක් වෙන්නේ පැවති පුහුණු තරග ද්විත්වයේ දී ම පහසු ජයග්‍රහණ වාර්තා කරමින් වීම විශේෂත්වයක්. ඔවුන් නෙදර්ලන්තය සමඟ පැවති තරගයේ දී කඩුලු 3ක ජයග්‍රහණයක් ද සහ ඇමරිකාව සමඟ පැවති තරගයේ දී ලකුණු 194ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා.

ඇමරිකාව සමඟ තරගයේ දී දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ශතක ඉනිම් වාර්තා කළ අතර චරිත් අසලංක සහ දසුන් ශානක අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වෙමින් තරගාවලියට කදිම පෙරහුරුවක් ලබා ගත්තා. මේ අතරින් දසුන් නෙදර්ලන්තයට එරෙහිව ද අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වෙනවා.

පිතිකරුවන් අතරින් ඔවුන් සිව්දෙනා කෙරෙහි තැබෙන විශ්වාසයට අමතරව පැතුම් නිස්සංක සහ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් දක්ෂතා දක්වන ධනංජය ද සිල්වා වෙත ද හිමි වෙනවා.  UAE කණ්ඩායමට එරෙහිව නම් කෙරෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ තහවුරු කර ගත් ස්ථාන ඔවුන් සතු විය හැකියි.

කලකට පසුව පිටියට එක් වෙමින් සුපුරුදු පන්දු යැවීමේ රිද්මයට පැමිණි දුෂ්මන්ත චමීර කණ්ඩායමේ වඩාත් බලාපොරොත්තු සහගත පන්දු යවන්නා බවට පත්ව තිබෙනවා. එමෙන් ම කසුන් රාජිත, වනිඳු හසරංග සේ ම මතීෂ පතිරණ ද පුහුණු තරගවල දී ප්‍රමාණාත්මක දක්ෂතා දැක්වීම කැපී පෙනුණා.

කෙසේ වෙතත් වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ද මෙම කණ්ඩායමට එක් කළ හැකි දැයි කෙරෙන, සලකා බැලීමක වැඩි ඉඩ කඩක් ද පවතී. එසේ වුවහොත් එම ස්ථානය මතීෂ පතිරණ ද නැත්නම් ලහිරු කුමාර ද යන්න තරගයට පෙර තීරණය කෙරෙනු ඇත.

UAE කණ්ඩායම සමඟ සහභාගී වෙනු ඇතැයි අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම: දසුන් ශානක (නායක) දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා) චරිත් අසලංක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, කසුන් රාජිත, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ/ ලහිරු කුමාර

එක්සත් එමීර් රාජ්‍ය ක්‍රිකට් කණ්ඩායම

එක්සත් එමීර් රාජ්‍ය ක්‍රිකට් කණ්ඩායම පළමු වරට ලෝක ක්‍රිකට් කරළියට පිවිසෙන්නේ 1993/94 වසරේ එරට දී පැවති Austral-Asia කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී යි. එතැන් සිට මේ දක්වා තවත් තරගාවලි 21කට මුහුණ දී ඇති ඔවුන් මේ දක්වා දිනා ඇත්තේ තරගාවලි 3ක් පමණයි.

2014/15 වසරේ දී ඇෆ්ගනිස්තානය සමඟ පැවති තරගාවලිය 3-1ක් ලෙසත්, 2016/17 වසරේ දී හොංකොං, ස්කොට්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩයම සහභාගී වූ තුන්කොන් තරගාවලියත් සහ 2017 වසරේ දී පැපුවා නිව් ගිනියාව සමඟ පැවති එක්දින තරගාවලිය 2-1ක් ලෙසත් ඔවුන් ජයග්‍රහණය කරනවා.

මේ දක්වා ඔවුන් එක්දින ජාත්‍යන්තර තරග 102කට මුහුණ දී ඇති අතර ඉන් තරග 36ක් දිනා ගනිද්දී තරග 65ක් පරාජය වෙනවා. අනෙක් තරගය ලකුණු සම වීමෙන් නිමා වෙනවා. ඔවුන්ගේ ජයග්‍රහණයේ ප්‍රතිශතය 48.88ක්.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක් වූ UAE සංචිතය: Muhammad Waseem (නායක), Aayan Afzal Khan, Ali Naseer, Vriitya Aravind (කඩුලු රකින්නා), Asif Khan, Basil Hameed, Ethan D’Souza, Junaid Siddique, Karthik Meiyappan, Muhammad Jawadullah, Rameez Shahzad, Rohan Mustafa, Aryansh Sharma, Sanchit Sharma, Zahoor Khan.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පෙර පැවති පුහුණු තරගවල දී UAE ක්‍රීඩකයෝ නේපාලය සමඟ තරගය තියුණු අවසානයකින් අනතුරුව ලකුණකින් ජය ගන්නා ලද අතර බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවති තරගයෙන් ලකුණු 114ක පරාජයකට මුහුණ දෙනවා.

කෙසේ වෙතත් කොදෙව්වන්ට එරෙහි තරගයේ දී  ශතකයක් වාර්තා කිරීමට Basil Hameed සමත් වීම කැපී පෙණුනා. අනෙකුත් පිතිකරුවන් අතරින් Vriitya Aravind, Aryansh Sharma සහ Rohan Mustafa අර්ධ ශතක වාර්තා කරමින් පෙරහුරු තරග අවසන් කළා.

පන්දු යවන්නන් අතරින්  Ali Naseer සහ Karthik Meiyappan දක්ෂතා දැක්වූවා.

ශ්‍රී ලංකාව හා සමඟ තරගයේ දී අවධානයෙන් සිටිය යුතු ක්‍රීඩකයෝ

Muhammad Waseem

29 හැවිරිදි ආරම්භක දකුණත් පිතිකරු ලෙසින් කටයුතු කරන Muhammad Waseem එක්සත් එමීර් රාජ්‍ය කණ්ඩායමේ නායකත්වයට පත් 10 වැනි ක්‍රීඩකයායි. මේ දක්වා ඔහු තරග 15කට නායකත්ව ලබා දී ඇති අතර ඉන් තරග 6ක් ජයග්‍රහණය කරද්දී තරග 9ක් පරාජය වී තිබෙනවා.

මේ දක්වා ඔහු එක්දින තරග 41කට ක්‍රීඩා කරමින් ඉනිම් 41ක දී ශතකයක් සමඟින් ලකුණු 1069ක් සිටිනවා. ඔහුගේ අවසන් ඉනිම් 5 එකතුව ලකුණු 107ක්.

Vriitya Aravind

කණ්ඩායමේ කඩුලු රකින්නා ද වන 21 හැවිරිදි ඉන්දියාවේ උපත ලද Vriitya Aravind එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයායි. ඔහු මේ දක්වා තරග 49කට ක්‍රීඩා කරමින් ශතක 2ක් සමඟින් ලකුණු 1536ක් ලබා සිටිනවා.

ඔහු අවසන් ඉනිම් 5 දී අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 172ක් ලබා සිටින අතර බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවති පුහුණු තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කිරීමට ද සමත් වෙනවා.

Basil Hameed

කේරළයේ උපත ලද 31 හැවිරිදි වියේ පසුවෙන Basil Hameed, මැදිපෙළින් UAE කණ්ඩායම ස්ථාවර කරන පිතිකරුවෙක් ලෙසින් නම් දරා සිටින අතර දකුණතින් පිට දඟපන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දක්වනවා.

ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 31ක ඉනිම 28ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 667ක් ලබා සිටිනවා. ලබා ඇති කඩුලු සංඛ්‍යාව 35ක්.

අවසන් කළ ජාත්‍යන්තර එක්දින ඉනිම් 5 දී ලකුණු 125ක් සහ කඩුලු 9ක් ලබා සිටින Basil Hameed මෙම තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවැත්වූ පුහුණු එක්දින තරගයේ දී නොදැවී ලකුණු 122ක් ලබා ගැනීමට ද සමත් වූවා.

Rohan Mustafa

එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරමින් වැඩිම එක්දින ජාත්‍යන්තර තරග ප්‍රමාණයකට ක්‍රීඩා කර ඇති 34 හැවිරිදි Rohan Mustafa එක්දින ජාත්‍යන්තර තරග 76කට ක්‍රීඩා කරමින් ඉනිම 76ක දී ශතකයක් ද සමඟින් ලකුණු 1420ක් ලබා සිටිනවා. නමුත් ඔහු අවසන් එක්දින ඉනිම් 5 දී වාර්තා කර ඇත්තේ ලකුණු 16ක් පමණයි.

දකුණතින් පිට දඟ පන්දු යවන්නෙක් ලෙසින් ද කණ්ඩායමේ ස්ථාවර වී සිටින ඔහු මේ දක්වා එක්දින කඩුලු 81ක් ලබා ගනිමින් එක්සත් එමීර් රාජ්‍යය වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් අතරින් 2 වැනි ස්ථානය දිනා සිටිනවා.

Zahoor Khan

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් වැඩිම කඩුලු ලබා සිටින 34 හැවිරිදි වියේ පසුවෙන පංජාබ් ක්‍රීඩක Zahoor Khan මෙම තරගාවලියට එක් වෙන්නේ තරග 56ක දී ලබා ගත් කඩුලු 88ක ගිණුමක් තමන් සතු කර ගනිමිනුයි. ඒ අතර අවසන් ඉනිම් 5 දී ලබා ගත් කඩුලු 7ක් ද ඔහු සතුයි.

ශ්‍රී ලංකාව සමඟ සහභාගී වෙනු ඇතැයි අපේක්ෂිත UAE කණ්ඩායම: Muhammad Waseem (නායක), Asif Khan, Vriitya Aravind (කඩුලු රකින්නා), Basil Hameed, Rameez Shahzad, Rohan Mustafa, Ali Naseer, Aayan Afzal Khan, Aryansh Sharma/ Muhammad Jawadullah, Zahoor Khan, Karthik Meiyappan

ක්‍රීඩාංගණයේ තත්ත්වය

පිතිකරුවන්ට වඩාත් උචිත යැයි සැලකෙන Bulawayo හී Queens ක්‍රීඩාංගණය එක්දින තරගාවලියක් සඳහා විවර වෙන්නේ 2018 වසරට පසුව වීම විශේෂත්වයක්. කෙසේ වෙතත් මෙම ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව මීට පෙර තරග 9කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 9ක් ජයග්‍රහණය කර තිබෙනවා. තරග 2ක් විසඳුමකින් තොරව අවසන් වෙද්දී අනෙක් තරගය පරාජය වී තිබෙනවා.

UAE කණ්ඩායම මීට පෙර මෙම ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩා කර ඇත්තේ එක් තරගයක දී පමණයි. එම තරගය ද අවසන් වී ඇත්තේ පරාජය වීමෙන්.

කෙසේ වෙතත් ක්‍රීඩාංගණයේ ස්වභාවය සේ ම කණ්ඩායම් සංයුතිය අනුවත් කාසියේ වාසිය ලබා ගත් හොත් ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට පෙළඹෙනු ඇතැයි විශ්වාස කළ හැකියි.

ශ්‍රී ලංකාව සහ UAE අතර එක්දින තරග වාර්තා

  • වැඩිම ලකුණු 290/9 (50) ශ්‍රී ලංකා කණ්ඩායම 2008
  • අඩුම ලකුණු 123/10 (36.3) UAE 2004
  • වැඩිම ලකුණුලාභියා Amjad Ali  ලකුණු 77 (2008)
  • හොඳම පන්දු යැවීම අජන්ත මෙන්ඩිස් 5/22 (2008)

මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට ළඟා විය හැකි කඩඉම්

  • චරිත් අසලංකට එක්දින ජාත්‍යන්තර ලකුණු 1000ක් වාර්තා කිරීමට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 94ක් පමණයි.
  • දිමුත් කරුණාරත්නට එක්දින ජාත්‍යන්තර ලකුණු 1000ක් වාර්තා කිරීමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 121ක් පමණයි.
  • පැතුම් නිස්සංකට එක්දින ජාත්‍යන්තර ලකුණු 1000ක් වාර්තා කිරීමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 153ක් පමණයි.
  • වනිඳු හසරංගට එක්දින ජාත්‍යන්තර කඩුලු 50ක් වාර්තා කිරීමට ඇත්තේ කඩුලු 5ක් පමණයි.

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සියලු තොරතුරු සැනෙකින් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<