ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (08) අවසන් වූ තරගවල දී මොහොමඩ් ශමාස් සහ කවිඳු නදීශාන් තම පළමු පෙළ එක්දින තරගවල සුවිශේෂී කඩඉම්වලට පිවිසීමට සමත් වූවා.
Jaffna කණ්ඩායම නියෝජනය කරන මොහොමඩ් ශමාස් අද මෙවර තරගාවලියේ 5 වැනි ශතකය වාර්තා කිරීමට සමත් වූනා. එය ඔහුගේ තරග 49ක පළමු පෙළ එක්දින තරගවල හොඳම ඉනිමයි. එමෙන් ම ඔහු අද ඉනිමත් සමඟින් පළමු පෙළ එක්දින තරගවල දී ලකුණු 1000 සීමා ව පසු කිරීමට ද සමත් වෙනවා.
මේ අතර Colombo කණ්ඩායම නියෝජනය කරන කවිඳු නදීශාන් අද තම පළමු පෙළ එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වුනා. ඔහු Galle කණ්ඩායමට එරෙහි ව ලකුණු 33කට කඩුලු 5ක් දවා ගනිමින් මෙම දක්ෂතාව සිදු කළ අතර ඒ සමඟින් එම තරගවල කඩුලු 50 සීමාව ඉක්මවා යැමට ද ඔහු සමත් වූවා.
අද නිමා වූ තරගවල දී Jaffna කණ්ඩායමේ රොන් චන්ද්‍රගුප්ත, රවිඳු සේම්බුකුට්ටි සහ Dambulla කණ්ඩායමේ ගයන වීරසිංහ අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
අද පැවැති Galle සහ Colombo අතර තරගයේ දී Galle ක්‍රීඩකයෝ පරාජය වීමත් සමඟින් එතෙක් තරගාවලියේ එක ම අපරාජිතයන් වී සිටි ඔවුන්ගේ අපාරාජිත බැම්ම බිඳී ගියා.
9 වැනි තරගය
- Galle සහ Colombo අතර තරගය, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ගාල්ල ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අගනුවර ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණ 228ක් ලබා ගත්තා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු යි. ඔහු පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තා.
ඊට අමතර ව අශේන් බණ්ඩාර ද ලකුණු 33ක් ලබා ගත්තා. ඔහු ඒ වෙනුවෙන් පන්දු 27ක් වැය කළ අතර හතරේ පහරක් සහ හයේ පහර 2ක් ඊට ඇතුලත් කර ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී අකිල දනංජය ලකුණු 47කට කඩුලු 3ක් දවා ගත් අතර දුනිත් වෙල්ලාගේ සහ සනෝජ් දර්ශික කඩුලු 2ක් බැගින් ද මුදිත ලක්ෂාන් සහ දිනුක ඩිල්ශාන් කඩුල්ල බැගින් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගාල්ල කණ්ඩායම ලකුණු 101කට සීමා කිරීමට අගනුවර ක්‍රීඩකයෝ සමත් වූවා. එහි දී පෙරමුණ ගත්තේ 23 හැවිරිදි වියේ පසුවෙන පා දඟ පන්දු යවන කවිඳු නදීශාන්. ඔහු ලකුණු 33කට කඩුලු 5ක් දවා ගත්තා.
ඊට අමතර ව චරිත් අසලංක සහ දිලුම් සුදීර කඩුලු 2ක් බැගින් ද සහ දසුන් ශානක කඩුල්ලක් ද දවා ගත්තා.
ගාලු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ සනෝජ් දර්ශික යි. ඔහු පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා. ඊට අමතර ව ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ රවිඳු රසාන්ත. ඔහු පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 13ක් ලබා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Colombo – කඩුලු 9ක් දැවී 228 (50.0) අවිශ්ක ප්‍රනාන්දු 44, ක්‍රිශාන් සංජුල 25, දසුන් ශානක 21, අශේන් බණ්ඩාර 33, කවිඳු නදීශාන් 29, දිලුම් සුදීර නොදැවී 20, දුනිත් වෙල්ලාලගේ 2/43, අකිල ධනංජය 3/47, සනෝජ් දර්ශික 2/48
Galle – සියලුම දෙනා දැවී 101 (32.4) සනෝජ් දර්ශික 32, දිලුම් සුදීර 2/24, චරිත් අසලංක 2/04, කවිඳු නදීශාන් 5/33
Colombo කණ්ඩායමට ලකුණු 127ක ජයක්.
- Zim Afro T10 තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 13 දෙනෙක්
- පැතුම් ශ්‍රී ලංකාවේ පැතුම ඉටු කරයි!
- සොහාන්, යශෝධ, ශමාෂ් සහ දිනුක දක්ෂතා දක්වයි
- හේරත් නවසීලන්තය සමඟ එක් වෙයි
- චරිත් 111 වැන්නේ දී 111ක් රැස් කරයි
10 වැනි තරගය
Jaffna සහ Dambulla අතර තරගය, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය දිනා ගත් දඹුලු කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 312ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දඹුලු ක්‍රීඩකයන්ට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 242ක් පමණයි.
Jaffna ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ 23 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරු මොහොමඩ් ශමාස්. ඔහු පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 112ක් ලබා ගන්නවා.
ඊට අමතර ව ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 72ක් සහ රවිඳු සෙම්බුකුට්ටි පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 58ක් එක් කළා.
කඩුලු දවා ගැනීමේ දී ගයන වීරසිංහ ලකුණු 36කට කඩුලු 2ක් දවා ගත් අතර රවිඳු ප්‍රනාන්දු, ටිලංග උදේශන, ලක්ෂාන් සඳකැන්, දුශාන් හේමන්ත සහ චමිඳු විජේසිංහ කඩුල්ල බැගින් දවා ගන්නවා.
දඹුලු කණ්ඩායමේ පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ ගයන වීරසිංහ. ඔහු පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 84ක් ලබා ගන්නවා. එය ඔහුගේ තරග 7ක් වන පළමු පෙළ එක්දින තරගවල හොඳම ඉනිමයි.
ඔහු පුලිඳු පෙරේරා සමඟ එක් වෙමින් 2 වැනි කඩුල්ලට පන්දු 69ක දී ලකුණු 57ක් ද එක් කරනවා. පුලිඳු පෙරේරා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 49ක්. ඒ වෙනුවෙන් ඔහු පන්දු 47ක් වැය කළ අතර ඊට හතරේ පහර 5ක් සහ හයේ පහරක් ද එක් කළා.
ඊට අමතර ව ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුලේලේ පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 31ක ද ලබා ගත්තා.
ඔවුන් ඒ තරමින් Dambulla කණ්ඩායම වෙනුවෙන් දායකත්වය දැක් වූව ද පසු පෙළ සම්පූර්ණයෙන් අසාර්ථක වීමෙන් ඔවුන්ට අපේක්ෂිත ඉලක්කය කරා යෑමට හැකි වූයේ නැහැ.
එම ගමන වලකාලීමේ දී තීසාන් විතුසාන් ලකුණු 59කට කඩුලු 3ක් දවා ගත් අතර කල්හාර සේනාරත්න කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතර ව රවිඳු සෙම්බුකුට්ටි, නිපුන් මාලිංග සහ ලිහිරු මධුශංක කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Jaffna – කඩුලු 7ක් දැවී 312 (50.0) රොන් චන්ද්‍රගුප්ත 72, නිපුන් කරුණානායක 43, මොහොමඩ් ශමාස් 112, රවිඳු සෙම්බුකුට්ටි 58, ගයන වීරසිංහ 2/36
Dambulla – සියලු දෙනා දැවී 242 (42.2) ලසිත් කෲස්පුලේලේ 31, පුලිඳු පෙරේරා 49, ගයන වීරසිංහ 84, දිනිරු අබේවික්‍රමසිංහ 25, තීසාන් විතුසාන් 3/59, කල්හාර සේනාරත්න 2/36
Jaffna කණ්ඩායමට ලකුණු 70ක ජයක්.
තරගාවලියේ මීළඟ තරග සැප්තැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ අනුව Kandy සහ Galle කණ්ඩායම් අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද, Jaffna සහ Colombo කණ්ඩායම් අතර තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද පැවැත්විමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<