අපිට දකුණු ආසියානු ශූරතාවය මඟ හැරෙයි ද?

145

3 වැනි දකුණු ආසියානු ජල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වීමට නියමිතව සිටි 111 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ ගමන, වර්තමානයේ රට තුළ පවතින පාලන තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා ඇත.

3 වැනි දකුණු ආසියානු ජල ක්‍රීඩා ශූරතාවය මෙම මස (ජනවාරි) 22 වැනිදා සිට 28 වැනිදා දක්වා ඉන්දියාවේ බැංගලෝර් නගරයේ දී පැවැත්වීමට නියමිතව තිබූ අතර ඒ සඳහා පිහිනුම්, වෝටර් පෝලෝ, දිය පිනුම් සහ දිගු දුර විවෘත පිහිනුම් යන අංශ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 111 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.

දකුණු ආසියාව ජය ගන්න යන 111කින් යුත් ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායම

ඉන්දියාවේ බැංගලෝර් නුවර දී ලබන වසරේ ජනවාරි 22 වැනිදා සිට 29 වැනිදා …

වර්තමානයේ මෙරට ජල ක්‍රීඩා අංශය භාරව කටයුතු කරන ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් මෙවර දකුණු ආසියානු ජල ක්‍රීඩා ශූරතාවය සඳහා ඉදිරිපත් කරන ලද ප්‍රවේශයන් සත්කාරක ඉන්දීය පිහිනුම් සම්මේලනය (SFI) මඟින් තාවකාලිකව අත්හිටුවා ඇත. ආසියානු පිහිනුම් සම්මේලනය (AASF) මඟින් කරන ලද ඉල්ලීම එයට හේතුවී ඇත.

මේ වන විට පත්කරන ලද අතුරු කමිටුවකින් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය පාලනය වන බැවින් මෙවර දකුණු ආසියානු ජල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වීමට නියමිත ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රවේශයන් අනුමත කළ නොහැකි බව දන්වා ඇත.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ වර්තමාන සභාපති ලෙස කටයුතු කරන මහින්ද ලියනගේ මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

“මේ සම්බන්ධයෙන් ජල ක්‍රීඩා සඳහා වන ඔලිම්පික් කමිටුව (FINA) මඟින් තවමත් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයට අත්හිටුවීමක් හෝ තහනමක් පනවා නැහැ. නමුත් ආසියානු පිහිනුම් සම්මේලනය මඟින් මෙවර තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබා දෙන ඉන්දීය පිහිනුම් සම්මේලනය වෙත දන්වා තිබෙන්නේ පරීක්ෂණයක් පවත්වන තුරු ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ අතුරු කමිටුව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රවේශයන් සියල්ල අවලංගු කරන ලෙසයි.”

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<