ව්‍යාපාර කළමනාකරණ පාසලට දෙවැනි තරග ජයග්‍ර‍හණයත් හිමිකර දෙමින් රෙඩ් බුල් විශ්ව විද්‍යාලීය විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (06) දිනය නිමාවට පත් වූයේ ප්‍ර‍තිවාදී කණ්ඩායම වූ  ඩුබායි හෙරිඔට් වොට් විශ්ව විද්‍යාලය (HWU) ලකුණු 101කින් පරාජය කරමිනි. තරගය SSC ක්‍රීඩා පිටියේදි පැවැත්විය.

පසුගිය ලිපි: ශෙහාන්ගේ අර්ධ ශතකය ජයග්‍රහණයට මඟ පාදයි

කාසියේ වාසිය දිනාගත් BMS කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස නිරෝෂන් දික්වැල්ල පිටියට පිවිසි අතර ඔහුට ඒතරම් සාර්ථක වීමට HWU ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැත. පන්දු 10කදි හතරේ පහර දෙකක් සමගින් ලකුණු 12 ලබා සිටින විට ඔහු දැවීයන ලදි. එවිට ලකුණු තත්වය දැක්වූයේ 17/1 ලෙසිනි.

ඉන්පසුව දෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය මනෝජ් සරත්චන්ද්‍ර වාර්තා කිරීමට හැකි වූයේ ලකුණු 2ක් පමණි. තරගයේ සිව්වැනි ක්‍රීඩකයා ලෙස පිටියට පිවිසි ශෙහාන් ජයසූරිය විසින් දක්ෂ ඉණිමක් දියත් කරමින් ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර ඔහු පන්දු 42කදි ලකුණු 101ක් වාර්තා කිරීමට සමත් වූයේ අනර්ඝ 6 පහර 7ක් සහ 4 පහර 9ක්ද සමගිනි.

කෙසේ නමුත් ඔහුගේ ඉණිමට නැවතීමේ තිත තැබුවේ රොනක් හ්කන්දෙල්වාල් විසිනි. ඔහු දැවී යන විට ලකුණු පුවරුව 161/4 ක් ලෙස දැක්විය. තරගයේ නොදැවී ක්‍රීඩා කල ජනිත් ලියනගේ විසින් 4 පහරක් සහ 6 පහර දෙකක් සමගින් ලකුණු 29ක් BMS කණ්ඩායමේ ජයග්‍ර‍හණයට එකතු කරනු ලැබීය. නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු පුවරුව දැක්වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 216ක් ලෙසයි.

BMS කණ්ඩායමෙන් ලද 217ක දැවැන්ත අභියෝගයත් සමග පිටියට පිවිසි HWU කණ්ඩායමට නියමිත ඉලක්කය සපුරා ගැනීමට BMS ක්‍රීඩකයෝ ඉඩ නොතැබූහ. ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසි ආදන් ඛාන් කිසිදු ලකුණක් නොලබා පළමු කඩුල්ල ලෙස දවා ගැනීමට ජනිත් ලියනගේ සමත් විය.

එම කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිය වූයේ චිරාග් සූරි ය. ඔහු විසින් ලකුණු 50ක් රැස් කලේ පන්දු 43කදි 4 පහර 7ක් සහ 6 පහරක් සමගිනි. තරගයේ 8වැනි කඩුල්ල ලෙස ඔහු දැවී ගියේ නිරෝෂන් දික්වැල්ලගේ ස්ටම්ප් කිරීමක් හමුවේයි. ඩුබායි ක්‍රීඩකයින් අතුරින් අනෙක් වැඩීම ලකුණු ලාභීන් වූයේ, ලකුණු 18ක් සහ ලකුණු 12ක් ලබා ගත් ස්යේඩ් ෆයිසීන් සහ රෝහිත් ජම්වාල් යන ක්‍රීඩකයින් දෙදෙනායි.

කෙසේනමුත් BMS ක්‍රීඩකයින්ගේ ඉලක්කය පසුකර යෑමට HWU ක්‍රීඩකයින් අසමත් වූ අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 115ක් පමණි.

BMS – 216/7 | ශෙහාන් ජයසූරිය 101, ගෙෂාන් විමලධර්ම 30, ජනිත් ලියනගේ 29*, නිරෝෂන් දික්වැල්ල 12, භානුක රාජපක්ෂ 11, රොනක් හ්කන්දෙල්වාල් 2/38, මුකීට් බට් 2/41, මොෂී ඛාන් 2/38.

HWU – 115/9 | චිරාග් සූරි 50, ස්යේඩ් ෆයිසීන් 18, රෝහිත් ජම්වාල් 12, ඩෙවින් පත්මනාදන් 3/8, භානුක රාජපක්ෂ 2/20, කොෂාන් ජයවික්‍ර‍ම 3/15.

තරග විනිසුරු – එරික් කන්නන්ගර, ජේ. ආර්. ඩබ්. විශ්වකුල.

තරගයේ වීරයා – ශේහාන් ජයසූරිය

ලකුණු 101කින් ජයග්‍ර‍හණය වාර්තා කිරීමට BMS කණ්ඩායම සමත් විය.

හෙට BMS කණ්ඩායම මධ්‍යම පංජාබ් විශ්ව විද්‍යාලය සමගින් NCC ක්‍රීඩා පිටියේදි තරග වදිනු ඇත.

අද පැවති අනෙක් තරගයන් හි විස්තර


බංගලාදේශ් ලිබරල් කලා විශ්ව විද්‍යාලය සහ ලාෆ්බොරෝ විශ්ව විද්‍යාලය අතර තරගය (NCC)

  • ලකුණු 25කින් ජය ලාෆ්බොරෝ විශ්ව විද්‍යාලයට
  • ලිබරල් කලා විශ්ව විද්‍යාලය – 144/6
  • ලාෆ්බොරෝ විශ්ව විද්‍යාලය – 169/8
  • තරගයේ වීරයා – සැමුඑල් ග්‍රාන්ට්

මධ්‍යම පංජාබ් විශ්ව විද්‍යාලය සහ මරත්වඩ මිට්‍රා මන්ඩල් විශ්ව විද්‍යාලය අතර තරගය (SSC)

  • කඩුලු 05ක ජය මධ්‍යම පංජාබ් විශ්ව විද්‍යාලයට
  • මරත්වඩ මිට්‍රා මන්ඩල් විශ්ව විද්‍යාලය – 176/8
  • මධ්‍යම පංජාබ් විශ්ව විද්‍යාලය – 187/5
  • තරගයේ වීරයා – ටයිමෝර් සුල්තාන්

සිඩ්නි විශ්ව විද්‍යාලය සහ ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලය අතර තරගය  (NCC)

  • ලකුණු 54ක ජය ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලයට
  • සිඩ්නි විශ්ව විද්‍යාලය – 132/8
  • ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලය – 186/6
  • තරගයේ වීරයා – රුබින් හර්මන්

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට