Neymar ලෝක කුසලාන පරාජය නිසා මානසික ව බිඳ වැටෙයි!

FIFA world cup 2022

2716

පසුගිය සිකුරාදා (09) අනපේක්ෂිත ලෙස ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදු වීම නිසා තමන් “මානසික ව බිඳ වැටුණු” බව සුපිරි බ්‍රසීල පාපන්දු තරුව Neymar විසින් සඳහන් කර තිබෙනවා.

සිකුරාදා ක්‍රොඒෂියාව සහ බ්‍රසීලය අතර අර්ධ අවසන් පූර්ව තරගය දඬුවම් පහර තෙක් ඇදී ගිය අතර එහි දී බ්‍රසීලයට ගෝල 4-2ක පරාජයක් විඳ ගැනීමට සිදු වුනා.

තරගයෙන් පසුව Instagram සටහනක් තබමින් Neymar විසින් සඳහන් කළේ එය තම ක්‍රීඩා ජීවිතයේ ලද නරකම පරාජය බවයි.

“මම මානසිකව බිඳ වැටුණා, මේ පරාජයෙන් තමයි මම වැඩියෙන්ම වේදනා වින්දේ. තරගය අවසන් වෙලා විනාඩි 10ක් විතර යන කම් මට කිසිම දෙයක් නො දැනුණු තරම් (අංශභාගය හැදිලා වගේ හිටියේ). ඊට පස්සේ මම නොනවත්වාම කඳුළු සලන්න ගත්තා, මට ඒක නවත්වගන්න බැරි වුනා.”

එදා තරගයේ අතිරේක කාලයේ දී Neymar විසින් බ්‍රසීලය වෙනුවෙන් ගෝලයක් ලබා ගැනීමට සමත් වූ අතර, එම ගෝලයත් සමග පාපන්දු ලොව පුරාවෘත්තය බඳු Pele විසින් බ්‍රසීලය වෙනුවෙන් ලබා තිබූ වැඩිම ගෝල සංඛ්‍යාව (77) සම කිරීමට ද Neymar විසින් සමත් වුනා.

නමුත් පසුව තරගයේ අවසන් මිනිත්තු කිහිපයේ දී ක්‍රොඒෂියාව විසින් ගෝලයක් ලබා ගනිමින් ලකුණු තත්වය 1-1ක් ලෙස සම කර ගත්තා.

” අවාසනාවන්ත විදිහට, මේ පරාජය මට දිගු කාලීන වේදනාවක් උරුම කරලා දුන්නා.”

Neymar සිය Instagram සටහනේ එලෙසින් සඳහන් කර තිබුණා.

 

View this post on Instagram

 

A post shared by NJ 🇧🇷 (@neymarjr)

එමෙන්ම තරගයෙන් අනතුරුව මාධ්‍ය ඉදිරියට පැමිණි Neymar විසින් ඔහුගේ රසිකයින්ව පුදුමයට පත් කරමින් කියා සිටියේ, තමන් නැවත ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරාවි ද යන්න සියයට සියයක් ම සහතික කළ නොහැකි බවයි.

නමුත් මේ වන විට අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත වී සිටින Pele විසින් පසුව Neymarව දිරි ගන්වන සුළු Instagram සටහනක් පළ කර තිබුණා.

 

View this post on Instagram

 

A post shared by Pelé (@pele)

“මම වගේම ඔබත් දන්නවා අපේ රට නියෝජනය කරනවා තරම් වෙන කිසිම ඉලක්කමක් වැදගත් නොවන බව. මගේ වාර්තාව මීට අවුරුදු 50කට විතර පෙර පිහිටවපු එකක්. මේ වෙන කම් කිසිම කෙනෙක් ඒ ළඟටවත් එන්න සමත් වුනේ නැහැ.

ඔබ ඒක කළා මගේ කොල්ලෝ…!

ඔබ මේ ළඟා කර ගත්තු දෙයට වටිනාකමක් එකතු වෙන්නේ ඒ නිසයි.

මට දැන් වයස අවුරුදු 82ක් වෙනවා, මේ දීර්ඝ කාලය ඇතුළේ මම ඔබව යම් ආකාරයකින් දිරිමත් කරවලා ඇති කියලා මම විශ්වාස කරනවා.

ඔබට තව දිගු ගමනක් උරුමයි, අපිව ප්‍රබෝධමත් කරන්න. මම ඉදිරියටත් ගොඩක් සතුටින් ඔබ ලබා ගන්නා සෑම ගෝලයක් ම සමරනවා.”

පාපන්දු ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරෙනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<