බ්‍රයන් ලාරා, දැන් උඹ මගේ අත්සන ගනින්!

12680

ක්‍රිකට් ක්‍රීඩාව හරි විචිත්‍රවත් ක්‍රීඩාවක්. එහෙම වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව එක්ක බැඳිලා ඉන්න විවිධ චරිත සහ විවිධ පෞරුෂයන් නිසා. අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ ක්‍රිකට් පිටියේ සහ ඉන් පිටත සිදු වෙච්ච අපූරු සිදුවීම් කිහිපයක් ගැන. 

  • සචින්ගේ මැකෙන්රෝ උන්මාදය 

ඉන්දියානු කණ්ඩායම මුල්ම වරට ලෝක කුසලානයක් දිනාගෙන මේ අවුරුද්දේ ජුනි මාසයට අවුරුදු 40ක් පිරෙනවා. 

1983 වසරේ ඔවුන් ලෝක කුසලානය දිනා ගත්තේ දෙවරක් ලෝක ශූරයින් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත් කරමින්. 

බොහෝ ඉන්දියානුවන් ප්‍රකාශ කරන්නේ ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවට ජීවය ලබා දුන්නේ ඉහත කී ලෝක කුසලාන ජයග්‍රහණය බව. 

මේ ලෝක කුසලාන ජයග්‍රහණය නොවන්නට ඉන්දියාවට සුපිරි තරග දිනවන්නෙක් අහිමි වන්නට තිබුණා. 

1983 ලෝක කුසලානය ඇරඹෙන සමය වන විට බොම්බායේ විසූ සචින් තෙන්දුල්කාර් නම් කුඩා දරුවා උග්‍ර විම්බල්ඩන් සහ ටෙනිස් උමතුවකින් පෙළුණා. ඔහුගේ ප්‍රියතම ක්‍රීඩකයා වුනේ සුප්‍රකට ඇමෙරිකානු ක්‍රීඩක ජෝන් මැකෙන්රෝ 

කුඩා සචින් කොයිතරම් මැකෙන්රෝ උන්මාදයකින් පෙළුණේ ද කියනවා නම් ඔහු ටෙනිස් ක්‍රීඩාවේ යෙදුණේ තමාගේ කැරලි ගැසුණු කොණ්ඩය මැකෙන්රෝ ආකාරයෙන් සකසා ගෙන. අසල්වැසියන් තමාට මැකෙන්රෝ නමින් අමතනවාට ඔහුගේ තිබුණේ අසීමිත ආශාවක්. ඔහුගේ සම වයසේ උදවිය නැවත ක්‍රිකට් ක්‍රීඩාව වැඩි අවධානයක් දෙන ලෙස කෙතරම් පෙරැත්ත කළත්, සචින්ගේ ටෙනිස් උමතුව නම් සංසිඳුණේ නැහැ.  

  • ටෙනිස් ක්‍රීඩාවේ යෙදෙන සචින් තෙන්දුල්කාර් 

සියල්ල වෙනස් වීමට වැඩි කාලයක් ගත වූයේ නැහැ. 1983 කපිල් දේව්ගේ නායකත්වයෙන් ඉන්දියානු කණ්ඩායම ලෝක කුසලානය දිනා ගනිද්දී, බොහෝ තරුණ පිරිස් නැවත රූපවාහිනිය වටා එක්වෙමින් ක්‍රිකට් ක්‍රීඩාව වැලඳ ගත්තා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් තරමක් දුරට ඈත් වී සිටි සචින් තෙන්දුල්කාර් නම් දරුවා ද ඉන් එක් අයෙක්.  

එදා ඉන්දියාවට ලෝක කුසලානය දිනා ගැනීමට නොහැකි වූවා නම් සචින් තෙන්ඩුල්කාර් වැන්නෙකු බිහි නොවීමට වැඩි ඉඩකඩක් තිබූ බව සචින්ගේ සහෝදරයා අජිත් තෙන්දුල්කාර් සිය ග්‍රන්ථයේ ලියා තිබෙනවා. 

  • ලාරා, දැන් උඹ මගේ අත්සන ගනින්! 

මීට අවුරුදු දෙකකට කලින් උඹේ අත්සන ඉල්ලුවාම දෙන්න බෑ කිව්වා මතක ද? 

ඒකට කමක් නෑ. දැන් උඹ මගේ අත්සන ගනින්!” 

සිදු වී තිබුණේ ප්‍රාතිහාර්යයක්. දෙවරක් ලෝක කුසලානය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලෝක කුසලානයට ආගන්තුක කෙන්යානුවන් අතින් අනපේක්ෂිත ලෙසින් පැරදී ගිහින්. 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ අග්‍රගණ්‍ය පිතිකරුවා වූ බ්‍රයන් ලාරා හමුවට ගොස් උජාරුවෙන් ඉහත ප්‍රකාශය කළේ කොදෙව්වන්ට අමතක නොවන පරාජයක් උරුම කළ කෙන්යානු කණ්ඩායමේ නායක මොරිස් ඔඩුම්බේ. 

1996 වසරේ ඒ අපූරු ලෝක කුසලාන ජයග්‍රහණයට වසර දෙකකට පෙර දිනක වොරික්ෂයර් තරගයක් අතරතුර මොරිස් ඔඩුම්බේ ගොස් ලාරාගේ සමරු අත්සනක් ඉල්ලූ අවස්ථාවේ දී කොදෙව් සුපිරි පිතිකරුවා අත්සනක් ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණා.  

මෙදා කොදෙව් කණ්ඩායමේ පරාජයට මාර්ගය තනමින් ඔඩුම්බේ කොදෙව් කණ්ඩායමේ කඩුලු තුනක් දවාගෙන තරගයේ වීරයා වුනා. 

  • චිකන් කරිය නම් හද්ද ජරාවක් හේඩොස්! 

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු මැතිව් හේඩ්න් කාටත් මතක ඇති නේ. හේඩ්න් කියන්නේ හයයි හතරේ, සද්දන්ත කුලේ ඩයල් එකක්. 

පිට්ටනිය ඇතුළේ පන්දු යවන්නෝ පයිසෙකට ගණන් ගන්නේ නැතුව බැට් කරපු හේඩ්න්ට ක්‍රිකට් පිටියෙන් එළියේ අමුතුම තාලයේ විනෝදාංශ කිහිපයක් තිබුණා. ඕස්ට්‍රේලියානුවන්ට සාම්ප්‍රදායිකව හුරුපුරුදු මාළු බෑම වගේ ඒවා එක්ක ඉහුම් පිහුම් ඒ අතරේ වෙනවා. හේඩ්න් මාළු බාන්න ඈත මුහුදට ගිහින් ඉතාම අමාරුවෙන් ජීවිතය බේරා ගත් අවස්ථා පවා තියනවා. 

එකපාරක් එහෙම මාළු අල්ලන්න ගියපු බෝට්ටුව පෙරලිලා හේඩ්න් සහ ඇන්ඩෲ සයිමන්ඩ්ස් දෙන්නා ජීවිතය බේරා ගත්තේ සෑහෙන වෙලාවක් බ්‍රිස්බේන් අවට මුහුදේ පිහිනුවා කියලා කතාවක් තියනවා. 

2004 වසරේ ‘The Matthew Hayden Cookbook’ නමින් හේඩ්න් තමන්ගේ ප්‍රියතම විනෝදාංශයක් වන ඉහුම් පිහුම් පැත්ත ගැන පොතක් පළ කරනවා. 

පොත පළ කරලා ටික කාලෙකට පස්සේ සිඩ්නි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරගයක් අතරතුර දැවී ගිහින් ආපහු විවේකාගරයට යන අතරේ හේඩ්න්ට නරඹන්නන් දෙසින් මෙවැන්නක් ඇහෙනවා. 

ඒයි හේඩ්න්, උඹ මහා කමකට නැති පිතිකරුවෙක්. ඒ වගේම උඹේ අර මහ ලොකු පොතේ 186 වැනි පිටුවේ චිකන් කරියක් ගැන රෙසපියක් තියනවා නේද? ඒක නම් හද්ද ජරාවක්”

  • මැතිව් හේඩ්න් ඉහුම් පිහුම් වල යෙදෙමින් 

ක්‍රීඩක විවේකාගරයට ගියපු හේඩ්න් සියල්ල පැත්තක දාලා මුලින්ම කළේ තමන් ලියපු පොතේ 186 වැනි පිටුව පෙරලා බැලීම. අර මනුස්සයා කිව්වා වගේම 186 වැනි පිටුවේ තිබුණේ චිකන් කරියක් හදාගන්න විදිය. 

පුත්‍රයාගේ උඩපන්දුව අත්හළ තාත්තා 

මේ කියන්න යන්නේ 2004 වසරේ එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර එජ්බැස්ටන්’හි පැවති ටෙස්ට් තරගයක් ගැන. මේ තරගය අතරතුර එංගලන්ත කණ්ඩායමේ ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් එල්ල කල දැවැන්ත හයේ පහරක් ඉහළින්ම ගොස් නැවතුණේ රයිඩර් ප්‍රේක්ෂකාගාරයේ.  

ඉහළින් ඇදී එන මෙම පන්දුව රැකගන්නට ප්‍රේක්ෂකාගරයේ සිටි පුද්ගලයෙකු මහත් උත්සාහයක් ගත්තා. නමුත් එම උත්සාහය සාර්ථක වුනේ නැහැ. 

මුළු ලෝකයේම ඇස් තමා වෙත යොමුව තිබිය දී මෙම උඩපන්දුව අත්හල අවාසනාවන්ත පුද්ගලයා එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා කිට්ටුවෙන්ම සම්බන්ධ අයෙක්. 

පන්දුව පිත්තේ වැදෙන කොටම මම දැක්කා ඔහු ආසනයෙන් නැගිටිනවා විශාල හිනාවක් එක්ක. ඔහු ක්‍රිකට් ක්‍රීඩා කළ අයෙක්. හැම සති අන්තයේම මැච් එකක් ඉවර වෙලා ඇවිත් ඔහු කියනවා අද නම් සෙල්ලම් කරද්දී මරු කැච් එකක් ගත්තා කියලා.” 

ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් තමා එල්ල කළ හයේ පහර නිසා නින්දාවට පත්වු පුද්ගලයා පිළිබඳව සිය මතකය අවදි කළා. 

මේ පුද්ගලයා ගේ නම කොලින්. අවාසනාවකට කොලින් කියන්නේ ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්ගේ පියා. 

  • ෆ්ලින්ටොෆ් පවුලේ සාමාජිකයින් 

මම ඒ පන්දුව මා වෙත එනවා හොඳින්ම දැක්කා. නමුත් මට එය රැකගන්න බැරි වුනා. මගේ අතින් ගිලිහුණු පන්දුව වැටුණේ මා ළඟ සිටි මයිකල් වෝන්ගේ මවගේ උකුල මතට.  

සාමාන්‍යයෙන් අපි හිතනවා ප්‍රේක්ෂකාගාරයේ පිටුපසට වෙන්නට හිටියොත් ආරක්ෂිතයි කියල. නමුත් ඇන්ඩෲ වගේ කෙනෙක් පන්දුවට පහර දෙද්දී ප්‍රේක්ෂකාගාරයේ ඉන්න අපිටත් බොහෝම අවධානයෙන් ඉන්න වෙනවා. පසුව ෆ්ලින්ටොෆ්ගේ පියා මාධ්‍යවේදීන් හමුවේ පැවසුවා. 

  • මෝර ඇමකට ගහනවා දැන ගනින්! 

බ්‍රයන් මැක්මිලන් 90 දශකයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කළ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. 

විශාල ශරීරකායකට හිමිකම් කී මැක්මිලන්ට පිත්ත මෙන්ම පන්දුවත් හොඳටම හුරුයි. ඒ වගේම අතිදක්ෂ පන්දු රකින්නෙක්. 

ඕස්ට්‍රේලියාවේ පැවති එක්තරා ටෙස්ට් තරගයක දී මැක්මිලන්ට ෂේන් වෝන්ගේ පන්දුවලට මුහුණ දීමට සිදු වුනා. 

ෂේන් වෝන් යැවූ කිසිම පන්දුවක් තේරුම් ගන්නට මැක්මිලන්ට එදා හැකියාවක් තිබුණේ නැහැ. වෝන්ගේ පන්දු හමුවේ වෙර යොදා පිත්ත වැනුවත් ඒ කිසිම පන්දුවක් මැක්මිලන්ගේ පිත්තේ වැදුණේ නෑ. 

මැක්මිලන් කිට්ටුවට ගිය වෝන් මෙහෙම කිව්වා 

ඊළඟ පාර මම උඹට කියන්නම් මොකක්ද එවන්න යන බෝලේ කියලා” 

එතැන් පටන් වෝන් මෙන්න ලෙග්ස්පින් බෝලයක්, මෙන්න ෆ්ලිපර් එක කියමින් මැක්මිලන් තවත් අපහසුතාවට පත් කරන්න කටයුතු කළා. 

නමුත් අවාසනාවකට ඒ එකඳු පන්දුවක් හෝ පිත්තේ වද්ද ගන්න මැක්මිලන්ට හැකියාවක් ලැබුණේ නෑ. 

තවදුරටත් ඉවසගන්න බැරි තැන වෝන් කිට්ටුවට ගිය මැක්මිලන් කේන්තියෙන් මෙහෙම කිව්වා. 

උඹ ඊළඟ මාසේ දකුණු අප්‍රිකාවට එනවා කියලා මම දන්නවා. උඹ දන්නවා ද දකුණු අප්‍රිකාවේ මිනිස්සු සීයක් විතර දවසකට අතුරුදන් වෙනවා. සමහර විට මට උඹවත් මෝරෙක් අල්ලන්න ඇමකට ගහන්න පුළුවන් වේවි.” 

ක්ෂණිකව සුදුමැලි වෙලා ගියපු වෝන් එතන ඉඳන් කට වහගෙන ෆුල්ටොස් පන්දු කිහිපයක් යවලා පැත්තකට වුනා කියලා තමයි හිටපු ඕස්ට්‍රේලියානු නායක මාක් ටේලර් කියන්නේ. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<