පන්ජාබ් පන්දු යවන්නන්ට ඇපත් නැති වෙයි; ලක්නව් ඉහළම වාර්තාවකට

2530

2023 IPL තරගාවලියේ 38 වැනි තරගය ඊයේ (28) Lucknow Super Giants සහ Punjab Kings කණ්ඩායම් අතර පැවැත්වුණේ IPL ඉතිහාසයේ තවත් වාර්තාගත තරගයක් ඉතිහාසයට එක් කරමිනුයි.

මෙම තරගයෙන් Punjab Kings පරදවා ලකුණු 56ක ජයග්‍රහණයක් අත් කර ගැනීමට Lucknow Super Giants සමත් වූ අතර, තරගය පැවැත්වුණේ ඉන්දියාවේ මොහාලී හිදීයී.

ආබාධයක් හේතුවෙන් පසුගිය තරග කිහිපයේ දී ම පන්ජාබය සමඟින් එක් වීමට වරම් නොලැබූ නිත්‍ය නායක Shikhar Dhawan නැවතත් ඊයේ සිය කණ්ඩායම සමඟින් එක් වූ අතර, තරගයේ කාසියේ වාසිය ද ඔහු විසින් ජයග්‍රහණය කළා.

පසුව ඔහුගේ ඇරයුමෙන් ලක්නව් ආරම්භක පිතිකරු යුගලය වන KL Rahul සහ Kyle Mayers ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි අතර, ලකුණු 12ක් ලබා සිටි Rahulව පිටියෙන් ඉවත් කිරීමට Kagiso Rabada විසින් සමත් වුනා.

නමුත් Rahulගේ දැවී යාම වෙස්වලා ගත් ආශීර්වාදයක් බවට පත් කර ගත් ලක්නව් පිතිකරුවන් ඉතා වේගයෙන් ලකුණු රැස් කිරීමට පටන් ගත්තා.

මෙහි දී ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස තරගයේ හයවැනි පන්දුවාරයේ දී Kyle Mayers දැවී යන විට ඔහු පන්දු 24කින් ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, ඔහුගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි Marcus Stoinis විසින් කඩුල්ලේ රැඳී සිටි Ayush Badoni සමඟින් වේගවත් පිතිකරණයක නියැලුණා.

ඔවුන් දෙදෙනා විසින් ලක්නව් ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89ක සබඳතාවක් පිහිටුවීම සඳහා වැය කළේ පන්දු 45ක් පමණයි. පන්දු 24කින් ලකුණු 43ක් ලබා සිටි Ayushගේ දැවී යාමෙන් එම සබඳතාව බිඳ වැටුණු නමුත්, ඉන්පසුව පිටියට පිවිසුණු Nicholas Pooran හා එක් වූ Stoinis විසින් පන්දු 29ක් තුල ලකුණු 76ක සබඳතාවක් පිහිටවූයේ පන්ජාබ් පන්දු යවන්නන් කබලෙන් ලිපට ඇද දමමිනුයි.

මෙහි දී Pooran විසින් පන්දු 19කින් ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වූ අතර, ලක්නව් ඉනිම නිමා වීමට පන්දු දෙකක් පමණක් ඉතිරි ව තිබිය දී සිය ඉනිම නිමා කළ Stoinis පන්දු 40කින් ලකුණු 72ක් ලබා ගැනීමට සමත් වුනා. එම ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් අන්තර්ගත වුනා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ ලක්නව් විසින් කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 257ක් ලබා ගැනීමට සමත් වූ අතර, Rahul Chahar හැර අනෙක් සියලු ම පන්ජාබ් පන්දු යවන්නන්ට කිසිදු සමාවක් ලබා නොදී පහර එල්ල කිරීමට ලක්නව් පිතිකරුවන් සමත් වුනා.

Chahar සිය පන්දුවාර 4 තුල ලකුණු 29ක් පමණක් ලබා දී සිය ජාමය බේරා ගත් අතර, අනෙක් සියලු පන්දු යවන්නන්ගේ පන්දු වාරයකට ලකුණු ලබා දීමේ දළ වේගය පවා 12 ඉක්මවා තිබීම විශේෂත්වයක්.

ලක්නව් විසින් ලබා දුන් දැවැන්ත ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි පන්ජාබයේ ආරම්භක පිතිකරු යුගලය වන Shikhar Dhawan සහ Prabhsimran Singh දෙදෙනාම ඉනිමට ලකුණු 31ක් එක් වන විට දැවී ගිය නමුත් පසුව පිටියේ එක් වූ Atharva Taide සහ Sikandar Raza විසින් ඉනිමේ තෙවැනි කඩුල්ලට ලකුණු 88ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

නමුත් Raza ලකුණු 36කටත්, ඉන්පසුව පිටියට පිවිසි Liam Livingstone සහ Sam Curran පිළිවෙළින් ලකුණු 23ක් සහ 21කටත් දවා ගැනීමට ලක්නව් පන්දු යවන්නන් විසින් සමත් වූ අතර කිසිවෙකුට හෝ අවශ්‍ය වී තිබූ තරමේ විශාල ඉනිමක් කරා යාමට ඉඩ ලැබුණේ නැහැ.

ඉනිමේ ඉහළ ම ලකුණු ලාභියා වූ Taide පන්දු 36කින් ලකුණු 66ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉනිමේ අවසාන භාගයේ නැවතත් පෙර තරගයේ සේ ම ක්‍රියාත්මක වූ Jithesh Sharma පන්දු 10කින් ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වුනේ දැවැන්ත හයේ පහර තුනක් ද සමඟයි.

වෙන යම් දිනයක නම් පන්ජාබය දියත් කළ මෙම ඉනිම තරගයක් ජයග්‍රහණය කිරීමට ඕනෑවටත් වඩා ප්‍රමාණවත් නමුත්, ඊයේ ලක්නව් දියත් කළ ඉනිම හා සම වීමට තරම් එය ප්‍රමාණවත් වුනේ නැහැ.

ඒ අනුව පන්දුවාර 19 පන්දු 5ක් තුල පන්ජාබයට සියල්ලන් ම දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 201ක් පමණයි.

මෙහි දී ලක්නව් වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමට නිරත වූ Yash Thakur ලකුණු 37කට පන්ජාබ් ඉනිමේ කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා. ඊට අමතරව Naveen-ul-Haq විසින් කඩුලු 3ක් බිඳ හෙළුවා.

ලක්නව් කණ්ඩායම මෙම තරගයේ දී පන්දු යවන්නන් 9 දෙනෙකු භාවිතා කිරීම තරමක් විශේෂ කාරණයක්. එමෙන් ම මෙම තරගය IPL ඉතිහාසයේ කණ්ඩායම් දෙකක් විසින් රැස් කළ ඉහළ ම ලකුණු එකතූන් අතරේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනේ ලකුණු 458ක් ද සමඟිනුයි. එමෙන් ම ලක්නව් කණ්ඩායම වාර්තා කළ මෙම ඉනිම IPL තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් විසින් ඉනිමක දී ලබා ගත් දෙවැනි ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලෙසත් වාර්තා අතරට එකතු වුනා.

තවමත් මෙහි ප්‍රථම ස්ථානයේ පසු වන්නේ Royal Challengers Bangalore විසින් 2013 දී Pune Warriors කණ්ඩායමට එරෙහිව ලබා ගත් 263ක ලකුණු සංඛ්‍යාවයි.

ඒ අනුව ඊයේ පැවැත්වුණු මෙම තරගය IPL ඉතිහාසයේ වාර්තාවලට යම් බලපෑමක් එල්ල කිරීමට සමත් වූ එකක් ලෙස ද හඳුන්වා දිය හැකි.

මෙම තරගයේ වීරයා ලෙස ලක්නව් වෙනුවෙන් වේගවත් පිතිකරණයක නියැලුණු සහ පන්දු යැවීමෙන් ද කඩුල්ලක් දවා ගැනීමට සමත් වුනු Marcus Stoinis විසින් සම්මාන දිනා ගත්තා.

  • Lucknow Super Giants 257/5 (20) Marcus Stoinis 72, Kyle Mayers 54, Nicholas Pooran 45, Ayush Badoni 43
  • Punjab Kings 201 (19.5) Atharva Taide 66, Sikandar Raza 36; Naveen-ul-Haq 3-30, Yash Thakur 4-37

එමෙන් ම මෙම ජයග්‍රහණයත් සමඟින් 2023 IPL ලකුණු සටහනේ දෙවැනි ස්ථානය කරා ඉහළට පැමිණීමට Lucknow Super Giants ඊයේ සමත් වූ අතර, ඔවුන් හමුවේ පරාජය වූ Punjab Kings ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ පසුවනවා.

තරගාවලියේ තවත් තරග දෙකක් අද (29) Kolkata Knight Riders – Gujarat Titans සහ Delhi Capitals – Sunrisers Hyderabad කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

එමෙන් ම මෙවර IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා. 2023 IPL තරග උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<