පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් එළි දැක්වුනු හොඳම ගීත 10!

520

පාපන්දුවට මිනිස්සු ආදරය කරන හේතු දාහක් අතරේ සංගීතයත් එක හේතුවක් කියලා කිව්වොත් ඔබ එකඟ වෙනව ද? එහෙම එකඟ නොවෙන කවුරු හරි ඉන්නවා නම් මේ ලිපිය අවසානය වෙනකම් කියවන්න.

2022 FIFA පාපන්දු ලෝක කුසලානය ආරම්භ වෙන්න තව ටික කාලයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ වෙද්දී පාපන්දු උණුසුම ක්‍රීඩාලෝලීන් අතර ටිකෙන් ටික වැඩි වෙන්න පටන් අරගෙන. ඉදිරියට මේ උද්‍යෝගය තවත් වැඩි වෙයි.

ඒ හැම දෙයක් වෙන අතරේම මේ හැම දෙයක් වෙනුවෙන්ම FIFA World Cup Song කියන නම යටතේ එන ගීත ප්‍රේක්ෂකයින්ගේ මේ උද්‍යෝගය වැඩි වීමේ ප්‍රධානතම හේතුවලින් එකක් වන බව නොඅනුමානයි. ඒ විදිහට ලෝක කුසලානය වෙනුවෙන් ගීත එළිදැක්වීමේ ඉතිහාසය සහ මෙතෙක් බිහිවුණු හොඳම ගීත දහය මොනවාද කියන දේ ගැනයි මේ.

ඒ වගේම ලිපිය ආරම්භයේ දී ම විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක් වන්නේ ගීත දහයක් තේරීම ලියුම්කරුගේ පෞද්ගලික අදහස් අනූව සිදු වූ බව සහ කියවන ඔබේ අදහස් සමඟ ඒවායේ පරස්පරතා ඇති විය හැකි බවත්, එසේ වේ නම් ඔබේ අදහස් ද ThePapare.com සමඟ බෙදාහදා ගත හැකි බවත් ය.

පාපන්දු ලෝක කුසලානයට සමගාමීව නිල වශයෙන් තේමා ගීතයක් එළි දැක්වීම 1962 වසර දක්වා දිව යන ඉතිහාසයකට හිමි කම් කියන්නක්. 1960 වර්ෂයේ රෝමයේ දී පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සමගාමීව එළි දැක්වුණු තේමා ගීතයත් සමඟින් කරළියට ආ මෙම නව ප්‍රවණතාවය 1962 දී පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් ගීතයක් එළි දැක්වීමට හේතු වූ ප්‍රධානතම කරුණ බව ඉතිහාසයේ දැක්වෙනවා.

1962 දී පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් එළිදැක්වෙන ගීතය Los Ramblers සංගීත කණ්ඩායම විසින් El Rock del Mundial නමින් නිකුත් කරනවා. එම ගීතය එකල අතිශයින්ම ශ්‍රාවක ජනාදරයට පත්වී තිබූ රොක් ඇන්ඩ් රෝල් සංගීත ශෛලියට අනුගත වූ ගීතයක්.

එතනින් ඇරඹෙන පාපන්දු ලෝක කුසලාන ගීත එළි දැක්වීම කාලයාගේ ඇවෑමෙන් ලෝකය පුරාම අතිමහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගනිමින් අද වන විට නැතිවම බැරි ලෝක කුසලාන අංගයක් බවට පත්වී තිබෙනවා.

එමෙන්ම මේ වන විට එක ගීතයකින් පමණක් සෑහීමකට පත් නොවී විවිධාකරයේ නම් වලින් ගීත එළිදැක්වීම ද සිදු වනවා. FIFA World Cup official song, FIFA World Cup official anthem වැනි විවිධ නම් භාවිත වෙමින් එළිදැක්වෙන මෙම ගීත වාණිජකරණයේ හිනි පෙත්තටම නගිමින් සිටින වර්තමාන ලෝකයේ තවත් එක ගොදුරක් බවට පත් වී තිබෙනවා.

මෙම ගීත වෙනුවෙන් ලැබෙන නොමද ආකර්ෂණය නිසා පාපන්දු ක්‍රීඩාවත්, එම ගීතවල හිමිකරුවනුත්, එමෙන්ම අනුග්‍රාහකයින් මෙන්ම ගීත රසිකයිනුත් තමන්‍ට අනන්‍ය වූ වාසි ලබන බව නොරහසක්. නිල (Official) ගීතවලට අමතරව අනේකවිද ගායක ගායිකාවන් විසින් ලෝක කුසලානය අරඹයා ගීත එළිදැක්වීම ද අද වන විට බහුළව සිදු වන දෙයක්.

නමුත් මෙම සටහනට නිල වශයෙන් පිළිගැනීමක් ලැබූ ගීත පමණක් තෝරා ගැනීම සිදු කළ බව ද සඳහන් කළ යුතුයි.

  1. 1962
  • Official song: El Rock del Mundial
  • Performer: Los Ramblers

1962 දී චිලී හී පැවති හත් වැනි පාපන්දු ලෝක කුසලානයේ ජයග්‍රහණය හිමිවන්නේ දෙවැනි වරටත් ලෝක කුසලානයක පහස විඳීමට සමත් වූ බ්‍රසීල කණ්ඩායමයි. චිලී දේශයේ රොක් සංගීත කණ්ඩායමක් වූ Los Ramblers විසින් රොක් ඇන්ඩ් රෝල් සංගීත ශෛලිය භාවිත කරමින් නිපදවූ මෙම ගීතය ඉතාම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලද ගීයක්.

මිලියන දෙකකට අධික පිටපත් ප්‍රමාණයක් විකිණෙමින් චිලී සංගීත ඉතිහාසයේ සංගීත වාර්තා අලුත් කළ මෙම ගීතය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ නිල වශයෙන් නිකුත් වූ ප්‍රථම ගීතය වෙමින්ම අතිමහත් ජනප්‍රසාදයක් හිමි කර ගත් අතර, අදටත් එම ගීතය රොක් ඇන්ඩ් රෝල් සංගීත ශෛලියට ආදරය කරන්නෙකුට පහසුවෙන් ඉවත දැමිය නොහැකි ගීතයක්.

  1. 1998
  • Official Anthem: La Cour des Grands (Do You Mind If I Play)
  • Performers: Youssou N’Dour and Axelle Red

1998 දී ප්‍රංශයේ පැවති පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළේ ප්‍රංශයයි. 1998 වසර පාපන්දු ලෝක කුසලාන නිල ගීත ඉතිහාසයේ පැහැදිලි වෙනසක් කළ වර්ෂයක් බව නිසැකයි.

එම වර්ෂයේ පටන් එතෙක් එක් නිල ගීතයක් පමණක් නිකුත් වූ ඉතිහාසය වෙනස් වෙමින් Official Anthem සහ Official song යන නමින් ගීත දෙකක් නිර්මාණය වනවා. මෙම ලැයිස්තුවේ 9 වැනි ස්ථානය හිමිවන්නේ Official Anthem එක වන Do You Mind If I Play ගීතයටයි.

  1. 2002
  • Official Anthem: Anthem
  • Performer: Vangelis

2002 පාපන්දු ලෝක කුසලානය පාපන්දු ඉතිහාසයේ වඩාත්ම කතාබහට ලක්වෙන තරගාවලි අතරින් එකක්. ජපානය සහ දකුණු කොරියාව යන රටවල් ද්විත්වයේම පැවති මෙම ලෝක කුසලානය ජයග්‍රහණය කරන්නේ බ්‍රසීල කණ්ඩායම විසින්.

මෙහි දීත් Official Anthem සහ Official song යන නමින් ගීත දෙකක් නිල වශයෙන් එළිදැක්වෙනවා.

Recording Industry Association of Japan හීදී වසරේ ගීතයට හිමි සම්මානය හිමි කරගන්නා මෙම ගීතය ජපානයේ අතිශය ප්‍රසිද්ධියක් හිමි කර ගැනීමට ද සමත් වෙනවා.

  1. 2006
  • Official song: The Time of Our Lives
  • Performers: Il Divo, featuring Toni Braxton

ලෝක කුසලානයක් වෙනුවෙන් හදන තේමා ගීතය වේග රිද්මයේ තියෙන, උද්වේගකර එකක්ම වෙන්න අවශ්‍ය ද? එහෙම නැහැ කියලා කෙනෙක් විශ්වාස කරනවා නම් ඔහුගේ හෝ ඇයගේ විශ්වාසය තහවුරු කරන්න තමයි Il Divo, Toni Braxton යන අය The Time of Our Lives කියන සිංදුව හදලා තියෙන්නේ.

මෙම ගීතයට ඔපෙරා සංගීත ශෛලියේ පහස ලැබී තිබීම ද විශේෂත්වයක්. යුරෝපාකරයේ ඉතාම ඉහළ ලෙස ප්‍රසිද්ධියට පත් වූ මෙම ගීතය ජර්මනිය, ඔස්ට්‍රියාව, ස්විස්ටර්ලන්තය සහ ඉතාලිය වැනි රටවල ගීත දර්ශකවල හිනිපෙත්තේ රැඳීමට සමත් වූ ගීතයක්.

මෙම ගීතය නිකුත් කරන්නේ 2006 වසරේ ජර්මනියේ පැවති පාපන්දු ලෝක කුසලානයෙන් වන අතර, එම ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වුනේ ඉතාලි කණ්ඩායමයි.

  1. 2014
  • Official song: We Are One (Ole Ola)
  • Performers: Pitbull featuring Jennifer Lopez and Claudia Leitte

2014 වසරේ පැවති පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් එළි දැක්වුනු අතර ගීත රචනය වෙනුවෙන් Sia, RedOne, Danny Mercer වැනි ප්‍රසිද්ධ නම් දායක වුනා. එමෙන්ම මෙය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසේ සුවිශේෂී ගීතයක් වග සඳහන් කළ යුතුයි.

සංගීත නාද, ගායන ශෛලිය දෙපා නැටවෙන ආකාරයෙන් ඉදිරිපත් කෙරුණේ බ්‍රසීලියානු ජනයාට වඩාත් සමීප කරවීමේ අරමුණ ඇතිව වූවා වුවත්, බ්‍රසීල ජනයාගෙන් ඒ පිළිබඳ එතරම්ම යහපත් ප්‍රතිචාර නොලැබුනේ මෙම ගීය ඔවුන්ගේ සංගීත රටාවෙන් බැහැරව ගිය එකක් බව සලකමින්. එම නිසා මෙම ගීතයේම තවත් වර්ශන් එකක් බ්‍රසීල සංගීත ශෛලීන්ට අනුකූලව යමින් ද ඉදිරිපත් කිරීම සිදු කළා.

2014 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කරන්නේ ජර්මනිය විසිනුයි.

  1. 2006
  • Official Anthem: Zeit dass sich was dreht (Celebrate The Day)
  • Performers: Herbert Grönemeyer featuring Amadou & Mariam

මේ ලැයිස්තුවේ තියෙන Underrated ම සිංදුව විදිහට 2006 ලෝක කුසලානයේ Official Anthem එක හඳුන්වා දෙන්න කැමතියි.

ජර්මනියේ ගීත දර්ශකවල අංක එකේ රැඳෙන්නට සමත් වූ මෙම ගීතය ඉංග්‍රීසි සහ ජර්මන් භාෂා ද්විත්වයේන්ම නිකුත් වෙන අතර ගීත දෙකේ අදහස එක හා සමාන නොවීම ද විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක්.

එමෙන්ම මෙම ගීතය අඩංගු වන මියුසික් වීඩියෝව එතෙක් මෙතෙක් ලෝක කුසලානයක් වෙනුවෙන් බිහි වූ අලංකාරතම වීඩියෝවක් බව ද සඳහන් කල යුතුමයි.

  1. 1994
  • Official song: Gloryland
  • Performers: Daryl Hall and Sounds of Blackness

ඇමරිකා එක්සත් ජනපදයේ පැවති පළමු සහ එකම පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන්නේ 1994 වර්ෂයේ දීයී. එහි දී ලෝක ශූරයන් බවට පත් වන්නේ එවකට ලොව ප්‍රබලතම පාපන්දු කණ්ඩායමක් වූ බ්‍රසීල කණ්ඩායම විසිනුයි.

Gloryland සංගීත ඇල්බමය යටතේ නිකුත් වූ මෙම ගීතය මෙතෙක් බිහි වූ වඩාත්ම ක්ලැසික් ලෝක කුසලාන තේමා ගීතය බව සැකයෙන් තොරවම සඳහන් කළ හැකියි.

එමෙන්ම මෙම ගීත ඇල්බමය තුල ලොව පුරා අතිශයින්ම ජනාදරයට පත් වූ Queen සංගීත කණ්ඩායමේ We are the champions සංගීත ඛණ්ඩය ද ඇතුළත් වූ බව විශේෂයෙන්ම සඳහන් කළ යුතු වනවා.

  1. 2010
  • Official song: Waka Waka
  • Performers: Shakira featuring Freshlyground

මේ තමයි පාපන්දු ඉතිහාසයේම Fan’s favorite කියලා හඳුන්වන්න පුළුවන් ගීතය. සිංදුව විතරක්ම නෙවෙයි අදටත් අමතක කළ නොහැකි Shakiraගේ අයිකොනික් පර්ෆොමන්ස් එකත් මේ තරම් මේ ගීතය මිනිස්සු අතරේ ප්‍රචලිත වෙන්න ප්‍රධානතම හේතුවක් විදිහට හඳුන්වන්න පුළුවන්.

2010 වර්ෂයේ දී දකුණු අප්‍රිකාවේ දී පැවති පාපන්දු ලෝක කුසලානයේ ජයග්‍රහණය ලබා ගන්නේ නෙදර්ලන්ත කණ්ඩායම විසිනුයි. එමෙන්ම මෙම තරගාවලිය පාපන්දු ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධියට පත් වූ ලෝක කුසලානය ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. එම ජනප්‍රියත්වයට නිල වශයෙන් එළි දැක්වූ ප්‍රධාන ගීත තුනම හේතුවක් බවත් නොරහසක්.

එමෙන්ම මෙම තරගාවලිය පුරාවට තරගයෙන් තරගයට නිවැරදි අනාවැකි කියූ බූවල්ලා ද අමතක කළ නොහැකි අතීතකාමී මතකයක්.

එමෙන්ම Shakira විසින් 2014 ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය කරන La La La ගීතය ද අමතක නොවන මතකයක්. නමුත් 2014 නිල ගීත අතරේ නොවුනු නිසා මෙම ලැයිස්තුවට එක් කර ගත්තේ නැහැ.

  1. 2010
  • Coca-Cola Official Promotional Anthem): Wavin’ Flag
  • Performers: K’Naan

මේ ගීතය අංක දෙකට එන්නේ, මේ ගීතයේ කිසිම අඩුවක් පාඩුවක් හෝ අතීතකාමී මතකයන්ගේ අඩුවක් නිසා නෙවෙයි. අංක එක කියන තැන වෙනම ගීයක් වෙනුවෙන් ලියවිලා තියෙන නිසා.

Coca – Cola සමාගම අනුග්‍රහයෙන් මෙය ලෝක කුසලානය ප්‍රවර්ධනයට දායක කර ගත් ගීතයක් වන අතර 2009 වර්ෂයේ දීයී මෙම ගීතය පළමු වරට අහන්න ලැබෙන්නේ. එමෙන්ම මෙම ගීතයේ තවත් කවර් වර්ශන් රැසක් විවිධ ගායක ගායිකාවන්ගේ දායකත්වයෙන් යුතුව නිපදවන්නේ එය ලබා ගත් අසීමිත ජනප්‍රියත්වය නිසාමයි.

මෙම ගීතය ලැබූ ජනප්‍රියත්වය නිසාම 2012 වර්ෂයේ දී මෙම ගීතය ගායනය කළ K’Naan විසින් එම ගීතයේ පසුබිම් කතාව සඳහන් කරමින් When I Get Older: The Story Behind Wavin’ Flag, about the song and its history යන නමින් පොතක් ද නිකුත් කරනවා.

විශේෂ සඳහන් කිරීමක් –

අංක 1 ගැන කතා කරන්න කලින් මුල් දහය අතරට එකතු නොවූවත්, අනිවාර්යයෙන් සඳහන් කළ යුතු ගීත කීපයක් මෙහි සටහන් කරන්නම්.

  • 2022 Official song: Hayya Hayya (Better Together)

මේ ගීතය අනිවාර්යයෙන්ම මෙවර ලෝක කුසලානය පිළිබඳ ප්‍රේක්ෂක ආකර්ෂණය තවත් වැඩි වත්ම වැඩි වැඩියෙන් කතාබහට ලක්වන ගීතය වනු ඇති බව නොඅනුමානයි.

  • 2018 Official song: Live It Up

Performers: Nicky Jam featuring Will Smith and Era Istrefi

මෙය 2018 වසරේ රුසියාවේ පැවැත්වුණු ලෝක කුසලානය වෙනුවෙන් එලි දැක්වූ ගීතයක්.

  • 1990 Official song: Un’estate italiana

Performers: Edoardo Bennato and Gianna Nannini

1990 වර්ෂයේ ඉතාලියේ පැවති පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් නිකුත් වූ මෙම ගීතයත් බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත් ගීතයක්.

  1. 1998
  • Official song: La Copa de la Vida (The Cup of Life)
  • Performer: Ricky Martin

මේ සිංදුව අංක එකට තෝරන්න පෞද්ගලික හේතු ලියන්න කලින් මේ වගේ අදහසක් එකක් YouTube එකේ දැකපු නිසා මම ඒක මුලින්ම සඳහන් කරලා ඉන්නම්.

“ඔවුන්ට හැම අවුරුදු හතරකට වරක්ම ලෝක කුසලාන වෙනුවෙන් ගීත හදන්න අවශ්‍යතාවයක් නැහැ. මේ සිංදුව ඒ හැම වතාවකම පාවිච්චි කරන්න.”

මේ සිංදුව පාපන්දු ලෝක කුසලානයක් වෙනුවෙන් කළ ගීතයක් විදිහට හඳුන්වනවාටත් වඩා සංගීත ඉතිහාසයේ මෙතෙක් බිහිවුණු ආකර්ෂණීයම ගීතයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. අදටත් අහන ඕනෑම වෙලාවක ඇඟේ හිරිගඩු පිපෙන තරම් හැඟීමක් ශරීරයේ හැම කොනකින්ම දැනෙන බව නම් විශේෂයෙන්ම සඳහන් කළ යුතුමයි.

එමෙන්ම මෙම ගීතය ලෝකයේ අතිශය ප්‍රසිද්ධියට පත් ගීයක් වුවත් එය පාපන්දු ලෝක කුසලානයක් වෙනුවෙන් නිකුත් වූ ගීතයක් ලෙස බොහෝ දෙනා නොදැන සිටීමත් විශේෂත්වයක්.

එම කරුණ මගින්ම සනාථ වන දෙය වන්නේ මෙය ගීතයක් සතු විය යුතු සියලු ගුණාංගවලින් හෙබි එකක් වූ බවත්, එම ගීතයට අනිකුත් සියලුම තේමා ගීත සතු නොවූ යම් කිසි ශක්‍යතාවයක් සහිත වූ බවත්ය.

මේ ලැයිස්තුවේ ඔබේ කැමතිම ගීතයත් තිබෙනවා ද, නැද්ද?

ඒ අදහස් අප හා බෙදා හදා ගන්නැයි කරන ආදරණීය ආරාධනය සමඟින්ම මෙම ලිපිය අවසන් කරනවා.

තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත 2022 පාපන්දු ලෝක කුසලානයේ සියලු තතුවිත්ති ඔබ හා සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<