ඇතුගල්පුර සටනේ පළමු දිනයේ වැඩි ගෞරවය සාන්ත ආනාවරුන්ට

1721

ඇතුලගල්පුර අයිතිකාරයින් වන කුරුණෑගල සාන්ත ආනා සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර 35 වැනි වරටත් පැවැත්වෙන ඇතුල්පුර සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය පළමු දිනයට (06) නතර කරන විට සාන්ත ආනා විද්‍යාලය තරගයේ සම්පූර්ණ අණසක තමන් සන්තක කර ගැනීමට සමත් විය.

වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී පළමු දිනයේ දී කඩුලු 18ක් දැවී ගියේ දෙපිළේම කඩුලු 9 බැගින් බිඳ දමමිනි.

මෙවර ඇතුගල්පුර මහා සටනේ ජයග්‍රහණය කා හට ද?

විශිෂ්ට තරග වාරයක අත්දැකීම් ද සමඟින් තිස්පස්වැනි ඇතුගල්පුර මහා සටනට හෙට (09) සහ අනිද්දා (10) වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත…

කාසියේ වාසිය දිනූ මලියදේව විද්‍යාලයීය නායක දුලාජ් රණතුංගගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත ආනා විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 236ක් ලබා ගත්තේ ය. ඊට පිළිතුරු ලෙසින් මලියදේව විද්‍යාලය දිනය අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 83ක් ලබා සිටියේ ය.

තරගය ආරම්භයේ සිටම වෙලගෙදර ක්‍රීඩාංගණයේ සතර දිග්භාගයම ග්‍රහණයට ගත් සාන්ත ආනාවරුන් දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීම කැපී පෙණුනි. එසේ ආරම්භ වූ ඉනිමේ දිවා විවේකය වෙද්දී සාන්ත ආනාවරුන් කඩුලු 2ක් දැවී ලකුණු 129ක් රැස් කර සිටිය හ. ඒ වෙද්දී දනංජය බණ්ඩාර නොදැවී ලකුණු 55ක් ද වනිත වන්නිනායක නොදැවී ලකුණු 12ක් ද ලබා සිටියහ. දැවී ගිය කඩුලු දෙකේ හිමිකාරීත්වය නවීන් මධුරංග සහ සජීවන් ප්‍රියදර්ශන සතු විය.

එතැන් සිට ගෙවී ගිය කාලය මලියදේව පන්දු යවන්නන්ට තරමක සුබදායක විය. ඔවුන් එම කාර්තුවේ දී තවත් කඩුලු 5ක් තම කණ්ඩායම වෙනුවෙන් එකතු කර ගත්හ. ඒ අනුව තේ විවේකය වෙද්දී ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 7ක් දැවී ලකුණු 227ක් ලෙසිනි.

තේ විවේකයෙන් අනතුරුව පන්දු 16කට පමණක් මුහුණ දුන් සාන්ත ආනාවරුන් ලකුණු පුවරුව කඩුලු 9ක් දැවී ලකුණු 236ක් වෙද්දී ඉනිම අත්හිටුවීමට තීරණය කළහ.

>> ඇතුගල්පුර සටනේ ප්‍රථම දිනයේ ඡායාරූප ඇල්බමය <<

එම  ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක වමත් පිතිකරු දනංජය බණ්ඩාර ය. ඔහු පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තේය. ඔහු ආරම්භක කඩුල්ල වෙනුවෙන් තම සඟයා වූ දිනේෂ් චන්දිමාල් (21) එක්ව රැස්කළ ලකුණු සංඛ්‍යාව 51කි. එය ඉනිමේ හොඳම ලකුණු සබඳතාව විය. අනතුරුව දෙවැනි කඩුල්ලේ දී ද ලකුණු 49ක් එක් කිරීමට රන්දීර රණසිංහ සහ දනංජය බණ්ඩාර සමත් විය.

පුබුදු ගනේගම පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ද, වනිත වන්නිනායක පන්දු 52කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ද සහ නායක රන්දීර රණසිංහ පන්දු 22කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 30ක් ද ලබා ගනිමින් තම ලකුණු පුවරුව ශක්තිමක් කළහ.

මලියදේවයන් වෙනුවෙන් වමතින් දඟපන්දු යැවූ නවීන් මධුරංග සහ සංජීවන් ප්‍රියදර්ශන කඩුලු 3 බැගින් දවා ගත් අතර දකුණතින් දඟ පන්දු යැවී නිසංජය හෙට්ටිආරච්චි කඩුලු 2ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි මලියදේවයන්ගේ ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමේ දී ආරම්භක වේග පන්දු යවන්නන් වූ රන්දීර රණසිංහ කඩුලු 3ක් ද, වනිත වන්නිනායක කඩුලු 2ක් දවා ගත්හ. දකුණතින් දඟපන්දු යැවූ පුබුදු ගනේගම සතු වූ කඩුලු සංඛ්‍යාව 2කි.

මලියදේව ඉනිමේ දී යම් තරමකින් හෝ හිස ඔසවා සාන්ත ආනාවරුන්ගේ අභියෝගාත්මක පන්දු යැවීමට මුහුණ දුන්නේ නායක දුලාජ් රණතුංග සහ චාලුක අතපත්තු පමණි. ඔවුන් දෙදෙනා ලකුණු 13 බැගින් ලබා ගත්හ. අනෙකුත් සියලු දෙනා අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වීම හේතුවෙන් කඩා වැටුණ ඉනිම හෙට (07) ආරම්භ වෙන්නේ තවත් කඩුල්ලක් අතැතිව ලකුණු 153ක් පිටුපසින් සිටිමිනි.

සාන්ත ආනා විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 236 (65.4) දනංජය බණ්ඩාර 57, දිනේෂ් චන්දිමාල් 21, වනිත වන්නිනායක 31, රන්දීර රණසිංහ 30, පුබුදු ගනේගම 33, සංජීව ප්‍රියදර්ශන 3/45, නවීන් මධුරංග 3/60, නිසංජය හෙට්ටිආරච්චි 2/47

මලියදේව විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 83 (23.4) දුලාජ් රණසිංහ 13, චාලුක අතපත්තු 13, රන්දීර රණසිංහ 3/27, වනිත වන්නිනායක 3/21, පුබුදු ගනේගම 2/11

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<