අපිට කොහොමද, අපිත් එහෙමයි

ICC Cricket World Cup 2023

5384

ඉන්දියාව විසින් එළඹෙන ආසියානු කුසලානය සඳහා මධ්‍යස්ථ ස්ථානයක් ඉල්ලා සිටියා සේ ම තමන් ද ලෝක කුසලානය වෙනුවෙන් මධ්‍යස්ථ ස්ථානයක් ඉල්ලීමේ වරදක් නොමැති බව පාකිස්තාන ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සඳහන් කරනවා. 

එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානය වෙත හිමි වී තිබුනත්, ඉන්දියාව පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත ප්‍රකාශ කිරීම නිසා තරගාවලියේ කොටසක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කළා. 

නමුත් එළඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානය සඳහා පාකිස්තානයට ඉන්දියාවට යෑමට සිදු වී තිබෙනවා. 

මෙම මතභේදකාරී සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාකිස්තාන ක්‍රීඩා අමාත්‍ය Ehsaan Mazari විසින් ඒ පිළිබඳ සිය මතය මෙසේ සඳහන් කළා. 

“පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මගේ යටතට පැමිණීමෙන් පසුව මගේ පෞද්ගලික මතය තමයි, ඉන්දියාව ඔවුන්ගේ ආසියානු කුසලාන තරග මධ්‍යස්ථ ක්‍රීඩාංගණයක පවත්වන්න ඉල්ලීම් කරනවා නම් අපිත් ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලානය සඳහා ඒ දේ ම ඉල්ලා සිටිය යුතුයි.” 

Indian Express සමඟ අදහස් දක්වමින් Mazari විසින් මෙම අදහස් පළ කර තිබෙනවා. 

එක්දින ලෝක කුසලාන තරගාවලිය මෙම වසරේ ඔක්තෝබර් 5 සිට නොවැම්බර් 19 දින තෙක් පැවැත්වීමට සැලසුම් කර ඇති නමුත්, තවමත් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තරගාවලියට සහභාගී වනවා ද නැද්ද යන්න පිළිබඳ පැහැදිලි ස්ථාවරයක් ප්‍රකාශ කර නැහැ. 

ICC විසින් පසුගිය දා නිවේදනය කළ ලෝක කුසලාන තරග කාල සටහන අනුව පාකිස්තාන කණ්ඩායමට ඉන්දියාවේ අහ්මදාබාද්, හයිද්‍රාබාද්, චෙන්නායි, බැංගලෝර් සහ කොල්කටා යන ක්‍රීඩාංගණවල තරග යෙදී තිබෙනවා. 

තරගාවලිය සඳහා පාකිස්තානයේ සහභාගීත්වය තීරණය කිරීම සඳහා පාකිස්තාන අගමැතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කර ඇති බවත් Mazari විසින් සඳහන් කරනවා. 

“විදේශ අමාත්‍ය Bilawal Bhutto විසින් මෙම කමිටුවේ ප්‍රධානත්වය දරනවා. මමත් ඇතුළුව එකොළොස් දෙනෙක් එම කමිටුව නියෝජනය කරනවා. අපි ගැට‍ලුව පිළිබඳ සාකච්ඡා කරලා අපේ නිර්දේශ අග්‍රාමාත්‍යවරයා වෙත ලබා දීමට නියමිතයි.” 

එම නිර්දේශ අනුව අවසන් තීරණය ගැනීම අගමැති සතු වන බවයි ඔහු විසින් සඳහන් කරන්නේ. 

එමෙන්ම ඔහු විසින් මෙම අදහස් දැක්වීම තුළ ආසියානු කුසලානය දෙමුහුන් ආකෘතියක් යටතට ගෙන ඒම සහ ඒ වෙනුවෙන් ඉන්දියාවේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචන කරනවා. 

“පාකිස්තානය තමයි සත්කාරකත්වය දරන්නේ. ක්‍රිකට් වලට ආදරය කරන අයට අවශ්‍යත් එයයි. මට දෙමුහුන් ආකෘතියක් අවශ්‍ය නැහැ.  

ඉන්දියාව විසින් ක්‍රීඩාව දේශපාලනයට ගේනවා. මට තේරුම් ගන්න බැහැ ඇයි ඉන්දීය රජයට ඔවුන්ගේ ක්‍රිකට් කණ්ඩායම මෙහෙට එවන්න බැරි කියලා. 

කලකට පෙර විශාල ඉන්දියානු බේස්බෝල් කණ්ඩායමක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඉස්ලාමාබාද් වලට ආවා. ඒ වගේ ම Bridge ක්‍රීඩාව සඳහා කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය කළා. එතන මිනිස්සු 60කට වඩා හිටියා. මමයි ඒ වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා වුනේ. ඔවුන් ඒ තරගාවලිය ජයග්‍රහණය කරලයි ආපසු ගියේ. පාකිස්තානයේ පාපන්දු, හොකී සහ චෙස් කණ්ඩායම් ඉන්දියාවේ සංචාරය කරනවා.” 

ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පමණක් ඉන්දියාවෙන් දක්වන මෙම විශේෂ අවධානය පාකිස්තාන ක්‍රීඩා අමාත්‍යවරයාගේ කනස්සල්ලට සහ පුදුමයට හේතු වී තිබෙනවා. එමෙන්ම පාකිස්තානයේ සංචාරය නොකිරීම වෙනුවෙන් BCCI විසින් ඉදිරිපත් කරන ආරක්ෂාව සම්බන්ධ ගැට‍ලු පිළිබඳ ඔහු සඳහන් කලේ පසුගිය කාලයේ එංගලන්තය, නවසීලන්තය වැනි කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කළ බව සහ එම අවස්ථාවල දී ඔවුන්ට පාකිස්තානයෙන් ජනාධිපති ආරක්ෂාවක් ලබා දුන් බවයි. 

කෙසේ වෙතත් දැන් ආසියානු කුසලානය පැවැත්වීම පිළිබඳ ගැට‍ළුව සමථයකට පත් වී ඇති අතර, ලෝක කුසලානයට සහභාගී වීමේ පාකිස්තාන තීරණය මත ඉන්දු – පාකිස්තාන කතාවේ ඉදිරිය තීරණය වනු ඇත. 

මේ පිළිබඳව සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Times of India ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<