මාලිංගට IPL මුල් තරග මගහැරේ

371

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධානතම පන්දු යවන තුරුම්පුව වන ලසිත් මාලිංග මෙවර තරගාවලියේ මුල් තරග සඳහා සහභාගී නොවීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා වන ලසිත් මාලිංග සිය පෞද්ගලික හේතූන් මත මෙලෙස මුල් තරග සඳහා සහභාගී නොවීමට තීරණය කර ඇත.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 13 වැනි අදියර එළඹෙන සැප්තැම්බර් මස 19 වැනි දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතය.

පසුගිය මාර්තු මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ එම තරගාවලිය කොරෝනා වයිරසය හේතුවෙන් දෙවතාවක්ම කල්දැමූ අතර ඉන් අනතුරුව මෙලෙස ඉන්දියාවෙන් පිටත දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

තරගාවලිය සඳහා සහභාගී වන සියලුම කණ්ඩායම් අගෝස්තු 22 වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණීමට නියමිතය. ඉන් අනතුරුව ඔවුන් එහි දී දින හතක් නිරෝධායනය කිරීමට සැලසුම් කර ඇති අතර එක් එක් කණ්ඩායම් සඳහා වන ජෛව ආරක්ෂක පද්ධතියට ඇතුළු වීමට පෙර සියලුම ක්‍රීඩකයන් තුන් වතාවක් COVID-19 සඳහා වන පරීක්ෂා කිරීම් වලට භාජනය කිරීමට නියමිතය.

තවත් ක්‍රිකට් පුවත්

කෙසේ වෙතත් මෙම වසරේ තරගාවලියේ මුල කොටස සඳහා ලසිත් මාලිංග සහභාගී වීම අවිනිශ්චිත බව ආරංචි මාර්ග තහවුරු කර තිබේ. මාලිංග මුම්බායි ඉන්දියන්ස් සංචිතය සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට නොපැමිණි අතර ඔහු තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට අවශ්‍ය අවසරය සඳහා ද ඉල්ලුම් කර නොමැති බව වාර්තා වේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පවතින නිරෝධායන රෙගුලාසි සහ දීර්ඝ කාලයක් පුහුණුවීම්වලින් ඉවත්ව සිටීම මාලිංග හට ඇති ප්‍රධානම අභියෝග වේ. කෙසේ වෙතත් ඔහු මෙවර තරගාවලියෙන්ම ඉවත්වන බවට මෙතෙක් තහවුරු කර නොමැත.

පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා සිටියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි. එහි දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවසන් ඕවරයේ දී ලකුණු 9ක් අවශ්‍ය වී තිබුණි.

අවසන් තරගයේ තීරණාත්මක අවසන් ඕවරයේ වගකීම මාලිංග හට පැවරී තිබුණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ මාලිංග එම ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ජයග්‍රහණය ලබා දීමට සමත් විය. ඒ මුම්බායි කණ්ඩායමේ සිව්වැනි ශූරතාවයයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භයේ දී සිය ප්‍රධාන තුරුම්පුවක් වන මාලිංග නොපැමිණීම වත්මන් ශූරයින්ට විශාල අභියෝගයක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

ලසිත් මාලිංගට අමතරව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ එකම ශ්‍රී ලංකා නියෝජනය ඉසුරු උදානය. ඒ අනුව මාලිංග තරගාවලියෙන් ඉවත් වීමත් සමඟ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන ඉසුරු උදාන මෙවර ලීගයේ සිටින එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වනු ඇත.

මුම්බායි ඉන්දියන්ස් හි පුහුණු මණ්ඩලයේ සාමාජිකයෙකු වන හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන දැනටමත් සිය සංචිතයට එක්වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව ගොස් තිබේ.

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සැප්තැම්බර් මස 19 වැනිදා සිට නොවැම්බර් මස 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<