ස්ටාර් ගාමන්ට් අපරාජිතව ශූරතාවට හිමිකම් කියයි

Honda Challenge Trophy 2023

228
Honda Challenge Trophy 2023

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ පන්දුවාර 25, G කොටසේ Honda අභියෝගතා කුසලානය වෙනුවෙන් පැවති ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට අපරාජිතව තරගාවලිය අවසන් කළ ස්ටාර් ගාමන්ට් කණ්ඩායම පසුගිය දා සමත් වුනා.  

කොළඹ 7, වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී කැළණි කේබල් කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරගයේ දී ඔවුන් මෙම ශූරතාවට හිමිකම් කීවේ ප්‍රතිවාදීන්ට එරෙහිව කඩුලු 2ක ජයග්‍රහණයක් වාර්තා කරමින්.

ස්ටාර් ගාමන්ට් කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මඟ

ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිළුලය
1 Inqube Global ස්ටාර් ගාමන්ට් කණ්ඩායමට කඩුලු 3ක ජයක්.
2 Pearson ලංකා ස්ටාර් ගාමන්ට් කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
3 එම්. ඩී. ගුණසේන ස්ටාර් ගාමන්ට් කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
4 සිලෝන් බිස්කට්ස් ස්ටාර් ගාමන්ට් කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
5 ACL කේබල් ස්ටාර් ගාමන්ට් කණ්ඩායමට ලකුණු 73ක ජයක්.
පෙර අර්ධ අවසන් පූර්ව වටය
6 Aitken Spence ස්ටාර් ගාමන්ට් කණ්ඩායමට කඩුලු 3ක ජයක්.
අර්ධ අවසන් පූර්ව වටය
7 VS Information ස්ටාර් ගාමන්ට් කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
අවසන් පූර්ව වටය
8 Amana බැංකුව ස්ටාර් ගාමන්ට් කණ්ඩායමට කඩුලු 3ක ජයක්.
අවසන් මහා තරගය
9 කැළණි කේබල් ස්ටාර් ගාමන්ට් කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

අවසන් තරගය

තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ දී කැළණි කේබල් කණ්ඩායම ද එතෙක් අපරාජිතව තරගාවලියේ සජීවී ව සිටීමට සමත් වීම කැපී පෙනුණා. ඔවුන් පෙර අර්ධ අවසන් පූර්ව වටයේ දී යුනයිටඩ් ට්‍රැක්ටර් කණ්ඩායම සමඟ තරගයේ දී ලකුණු සම වීමෙන් සුපිරි පන්දුවාරයේ ජයග්‍රහණය ලබා ගනිමින් ද, අර්ධ අවසන් පූර්ව වටයේ දී MAS ඇක්ටිව් කණ්ඩායමට එරෙහිව ලකුණු 7ක ජයක් ලබා ගනිමින් ද සහ අවසන් පූර්ව වටයේ දී CDB කණ්ඩායමට එරෙහිව කඩුලු 4ක ජයග්‍රහණය ලබා ගනිමින් ද අවසන් මහා තරගයට සඳහා සුදුසුකම් ලබා ගත්තා.

කාසියේ වාසිය දිනා ගත් ස්ටාර් ගාමන්ට් නායක ඉසුරු අබේගුණවර්ධනගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කැළණි කේබල්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 160ක් රැස් කළා.

කැළණි කේබල් වෙනුවෙන් ආරම්භක පිතිකරු රිසිත් ඉෂාර පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා ගත් අතර එය මෙම තරගයේ පිතිකරුවෙක් විසින් රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත්වුනා.

ඔහු සමඟින් ආරම්භක කඩුල්ලට එක් වූ තරුෂ නෙත්සර පළමු කඩුල්ලට පන්දු 80ක දී ලකුණු 80ක සබඳතාවක් එක් කිරීමට සමත් වීම කැපී පෙනුණා. තරුෂ පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා.

අනතුරුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41ක දී ලකුණු 50ක් එක් කිරීමට රිසිත් ඉෂාර සහ ලහිරු ජයසූරිය සමත් වුනා. ලහිරු පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.

අනෙකුත් පිතිකරුවන් අතරින් ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසියේ උෂාන් ඉමේෂ් (10) පමණයි.

කඩුලු දවා ගැනීමේ දී නිමන්ත පෙරේරා ලකුණු 35කට කඩුලු 4ක් දවා ගත්තා. ඊට අමතර ව විරාජ් ජයමහ කඩුලු 2ක් ද, කනිෂ්ක හසිත, විනිල පෙරේරා සහ සවිඳු පෙරේරා කඩුල්ල බැගින් ද දවා ගත්තා.

ලකුණු 161ක හඹා යෑමේ ඉනිමකට පිවිසි ස්ටාර් ගාමන්ට් ක්‍රීඩකයෝ තරගය නිමා වීමට තවත් පන්දු 3ක් පමණක් ඉතිරිව තිබිය දී කඩුලු 8ක් පමණක් ඉතිරිව තිබිය දී තරගයේ ජයග්‍රාහී ලකුණු ප්‍රමාණය ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් චතුරංග ඩිල්ශාන් පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා. ඊට අමතර ව ආරම්භක පිතිකරු නිමන්ත පෙරේරා පන්දු 19කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී මොහොමඩ් අසීම් ලකුණු 20කට කඩුලු 4ක් දවා ගත් අතර රිසිත් ඉෂාර ලකුණු 19කට කඩුලු 2ක් දවා ගත්තා.

අවසන් තරගයේ කෙටි ලකුණු පුවරුව

කැළණි කේබල් – සියලුම දෙනා දැවී 160 (25) රිසිත් ඉෂාර 51, තරුෂ නෙත්සර 38, ලහිරු ජයසූරිය 34, නිමන්ත පෙරේරා 4/35, විරාජ් ජයමහ 2/36

ස්ටාර් ගාමන්ට් – කඩුලු 8ක් දැවී 161 (24.3) නිමන්ත පෙරේරා 20, සවිඳු පෙරේරා 23, චතුරංග ඩිල්ශාන් 31, අශාන් නිමන්ත 19, මොහොමඩ් අසීම් 4/20, රිසිත් ඉෂාර 2/19

ස්ටාර් ගාමන්ට් කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවෝ

අමානා බැංකුව නියෝජනය කළ රිකාස් ජවුෆර් තරග 7ක ඉනිම් 7ක දී ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 369ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ පළමු අසුන වෙන් කර ගත්තා.

ඔහු පිරමිඩ් විල්මර් කණ්ඩායමට එරෙහිව පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් හයේ පහර 9ක් සමඟින් ලකුණු 130ක් සහ රන්පත් සමාගම, HNB සහ ස්ටාර් ගාමන්ට් කණ්ඩායම්වලට එරෙහිව අර්ධ ශතක වාර්තා කිරීමට ද සමත් වුනා.

එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමි වූයේ යුනයිටඩ් ට්‍රැක්ටර්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ද නායකයා වූ ගිමඳු මැල්කම්. ඔහු තරග 6ක ඉනිම් 6ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 342ක්. ඊට CIC හෝල්ඩිංග්ස් ආයතනයට එරෙහිව පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 5ක් සමඟින් ලබා ගත් ලකුණු 129ක් සමඟින් Zillione Systems, සහ කැළණි කේබල් කණ්ඩායම්වලට එරෙහිව වාර්තා කරන ලද අර්ධ ශතක 2ක් ද ඇතුළත්.

Zillione Systems නියෝජනය කළ සංක පීරිස් මෙම ලැයිස්තුවේ තෙවැනි අසුන හිමි කර ගන්නේ තරග 5ක ඉනිම් 5ක දී ලබා ගන්නා ලද ලකුණු 334 හේතුවෙන්. ඔහුගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ යුනයිටඩ් ට්‍රැක්ටර්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 10ක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 125යි.

ඊට අමතර ව ඔහු CIC හෝල්ඩිංග්ස් සහ කොකා කෝලා කණ්ඩායම්වලට එරෙහිව අර්ධ ශතක වාර්තා කිරීමට ද සමත් වෙනවා.

ඔවුන්ට අමතරව ස්ටාර් ගාමන්ට් කණ්ඩායම නියෝජනය කළ චතුරංග ඩිල්ශාන් තරග 9ක ඉනිම් 8ක දී අර්ධ ශතකයක් සමඟින් ලබා ගත් ලකුණු 232ක් හේතුවෙන් සිව්වැනි ස්ථානයටත් සහ කැළණි කේබල් කණ්ඩායම නියෝජනය කළ ලහිරු ජයසූරිය තරග 9ක ඉනිම් 8ක දී අර්ධ ශතකයක් සමඟින් ලබා ගත් ලකුණු 229ත් හේතුවෙන් මෙම ලැයිස්තුවේ 5 වැනි අසුනත් හිමි කර ගන්නවා.

තරගාවලියේ වැඩිම කඩුලු ලාභී පන්දු යවන්නෝ

තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට MAS ඇක්ටිව් කණ්ඩායමේ පසිඳු විජේසිංහ සමත් වෙනවා. ඔහු ඉනිම් 7ක දී කඩුලු 22ක් ලබා ගනිමින් මෙම අසුන වෙන්කර ගන්නවා.

ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ හිල්ටන් රෙසිඩන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 20කට දවා ගත් කඩුලු 5යි. ඊට අමතර ව Ceyline හෝල්ඩිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 4ක් දවා ගැනීමට ඔහු සමත් වෙනවා.

එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමි වෙන්නේ අමානා බැංකු කණ්ඩායම නියෝජනය කළ තුසිත ද සිල්වා වෙතයි. ඔහු ඉනිම් 7ක දී කඩුලු 20ක් දවා ගන්නවා. ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ ලයන් බෲවරී කණ්ඩායමට එරෙහිව ලකුණු 04කට දවා ගත් කඩුලු 6යි.

ඊට අමතර ව ඔහු රන්පත් සමාගම සහ පිරමිඩ් විල්මර් සමාගමට එරෙහිව කඩුලු 4ක් බැගින් ද ලබා ගන්නවා.

ලැයිස්තුවේ තෙවැනි ස්ථානය හිමි කර ගන්නේ කැළණි කේබල් කණ්ඩායම නියෝජනය කළ මොහොමඩ් අසාම්. ඔහු ඉනිම 8ක දී කඩුලු 17ක් දවා ගනිමින් එම ස්ථානයට පත් වෙනවා. ඊට අමතර ව සිවු වැනි සහ 5 වැනි ස්ථාන සඳහා කඩුලු 15ක් බැගින් දවා ගත්  දවා ගත් ස්ටාර් ගාමන්ට් කණ්ඩායමේ සවිඳු පෙරේරා සහ විරාජ් ජයමහ පත් වෙනවා.

ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<