හෂාන් තිලකරත්නට අලුත් වගකීමක්

190

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක සහ 1996 ලෝක කුසලාන ශූරතාවය දිනා ගත් කණ්ඩායමේ සාමාජිකයෙකු ද වන හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරාගෙන තිබෙනවා.

2000 වසර ආරම්භයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් තිලකරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ තනතුරු කිහිපයක්ම දරමින් සිය අත්දැකීම් ක්‍රීඩකයින්ට ලබා දුන්නා.

2020 වසරේ දී දකුණු අප්‍රිකාවේ දී පැවැත්වුණු වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම 10 වැනි ස්ථානය දිනා ගනිමින් තරගාවලිය අවසන් කළ අතර එහි දී ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වුනේ හෂාන් තිලකරත්න මහතායි. එය ඔහු විසින් මෑතක දී දැරූ ආසන්තම පුහුණුකරු තනතුර වෙනවා.

තවත් පුවත්:

2020 සහ 2021 වසර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තරගාවලි රැසක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණු නමුත් COVID-19 වයිරසයේ ව්‍යාප්තියත් සමඟින් එම තරගාවලි සියල්ලම පාහේ අවලංගු වී ගියා. 

ඒ අනුව 2020 වසරේ මාර්තු මාසයේ දී පැවැත්වුණු ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලියට පසුව මේ දක්වා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කිසිදු ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නැහැ.

එසේම 2022 වසරේ දී නවසීලන්තයේ දී පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය මේ වසරේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එය ජූලි  මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබුණු නමුත් COVID-19 බලපෑම නිසාවෙන් එය දෙසැම්බර් දක්වා කල් දැමීමට ICCය තීරණය කළා.

මේ සඳහා ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, අයර්ලන්තය, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව්, තායිලන්තය, සිම්බාබ්වේ, පැපුවා නිව් ගිනියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ නෙදර්ලන්තය යන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් මේ සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය ක්‍රීඩා කිරීමට නියමිතයි. 

එහි දී පළමු ස්ථාන තුන දිනා ගන්නා කණ්ඩායම් සඳහා 2022 වසරේ දී පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව ලැබෙනවා.

2022 වසරේ දී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ (Commonwealth Games) ක්‍රිකට් තරග ඉසව්ව සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ක්‍රීඩා කිරීමට ද ශ්‍රී ලංකාව සූදානමින් සිටින අතර එය ද මේ වසරේ දී පැවැත්වීමට අවස්ථාවක් තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<