සිදු වූ වැරදි අතිවිශාල පාඩුවකට මඟ පෑදු T20 තරගාවලිය

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

1375

ආසියානු ක්‍රිකට් ශූරයන් සේ ලැබූ අභිමානය ඕස්ට්‍රේලියාවේ Sydney නුවර දී උගසට තැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 2022 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ගමන ඉකුත් දා නිමා කළා.

අවාසනාවන්ත අවසානයකින් නිමා වූ තරගාවලියේ ශ්‍රී ලංකාව ලැබූ  වටිනාම ජයග්‍රහණය 2024 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සහ ඇමරිකාවේ දී පැවැත්වෙන මීළඟ ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත් කණ්ඩායමක් සේ පත් වීමයි.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ගමන් මග
ප්‍රතිවාදීන් විසඳුම
1 නැමීබියාව නැමීබියාවට ලකුණු 55ක ජයග්‍රහණයක්
2 UAE ශ්‍රී ලංකාවට ලකුණු 79ක ජයග්‍රහණයක්
3 නෙදර්ලන්තය ශ්‍රී ලංකාවට ලකුණු 16ක ජයග්‍රහණයක්
සුපිරි කණ්ඩායම් 12 වටයේ තරග
4 අයර්ලන්තය ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයග්‍රහණයක්
5 ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයග්‍රහණයක්
6 නවසීලන්තය නවසීලන්තයට ලකුණු 65ක ජයග්‍රහණයක්
7 ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයග්‍රහණයක්
8 එංගලන්තය එංගලන්තයට කඩුලු 4ක ජයග්‍රහණයක්

ශ්‍රී ලංකාව තරගාවලිය ආරම්භ කරන්නේ ම අවාසනාවන්ත ලෙසින්. ඔවුන් තම පළමු තරගයේ දී ම තවමත් කෝඩුකාර කණ්ඩායමක් වන නැමීබියාව හමුවේ ලකුණු 55ක පරාජයකට මුහුණ දෙනවා. නැමීබියාව යනු ඒ වෙද්දී විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 38ක් පමණක් ක්‍රීඩා කර තිබූ රටක්.

කෙසේ වෙතත් අවාසනාවන්ත ආරම්භයන් බොහෝ වෙලාවට ශ්‍රී ලංකාවට සුබදායි වෙනවා. ආසියානු ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේ දී ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය හමුවේ කඩුලු 8කින් පරාජය වෙනවා. ඒ ආරම්භය ඔවුන් අවසන් කරන්නේ ආසියානු ශූරයන් ද වෙමින්.

ඒ ලෙසින් ම මෙම තරගාවලියේ දී ලත් කටුක ආරම්භයෙන් පසු අවසානය වඩාත් සුබදායි වනු ඇතැයි බොහෝ දෙනෙක්ගේ බලාපොරොත්තුව වුනා.

ඉන් අනතුරුව පැවැති UAE සහ නෙදර්ලන්තය සමඟ තරග අපේ ක්‍රීඩකයෝ ජයග්‍රහණය කරමින් සුපිරි 12 දෙනාගේ වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගැනීමත් සමඟින් එය තවත් තීව්‍ර වුනා. ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ සුවහසක් ප්‍රාර්ථනාවන් මුදුන් පමුණුවාලන බවක් දකින්නට ලැබුණා.

නමුත් එතැන් සිට තරගාවලිය ලෙහෙසි වූයේ නෑ. ජයග්‍රහණය කළ අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය හැරෙන්නට අනෙකුත් තරග හමුවේ ශ්‍රී ලාංකික බලාපොරොත්තු එකින් එක බිඳ වැටුණා.

ප්‍රබල කණ්ඩායම් හමුවේ අපේ ක්‍රීඩකයන් පෑවේ දුර්වල ක්‍රීඩා විලාසයක්. එම තරගවලට අපේ ක්‍රීඩකයන් සහභාගී වූයේ  ඔවුන්ට ජයග්‍රහණය දෙන්නට ම පැමිණි ගමනක් ලෙසයි. ඒ නිසා ම  ශ්‍රී ලංකාවට තරගාවලියේ තරගයක් තිබිය දී ම තරගාවලියේ ඉදිරිය අහිමි වෙනවා.  ඒ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඉදිරියේ ලැබූ පරාජයන් සමඟ සහ නවසීලන්ත අයර්ලන්ත සහ ඕස්ට්‍රේලියා ඇෆ්ගනිස්තාන තරග ප්‍රතිඵලත් සමඟින්.

අත්‍යවශ්‍ය ම තරග ජයග්‍රහණ මඟ හැරීම මේ ගමනේ නිමාවට හේතු වුනා. පළමු වටයේ දී මුහුණ දුන් කණ්ඩායම්වලට වඩා දෙවැනි වටයේ කණ්ඩායම්වල දක්ෂතා හාත්පසින් ම වෙනස්. එය තේරුම් ගත යුතුව තිබුණා. අනෙක් අතට අසීරු නොවු ඉලක්ක පවා අපේ ක්‍රීඩකයන් වෙතින් ගිලිහී ගියා. සැලසුම් සහගත ව පිටියට පිවිසිය යුතු තැන්වල දී ඔවුන් වෙතින් ඒ දේ සිදු වූයේ නැහැ.

සිදු වූ වැරදි අතිවිශාල පාඩුවකට මඟ පෑදුවා. එය කිසිසේත් සිදු නොවිය යුක්තක් ව තිබුණා. සිදු වූයේ සිදු නොවිය යුතු දේවල්මයි. තරගාවලිය පුරා ම අපේ මැදපෙළ පිතිකරුවෝ දැක් වූ අදක්ෂතා ප්‍රබල පාඩුවක් බවට පත් වෙද්දී තරගයෙන් තරගයට පන්දු යවන්නන්ගේ ඉලක්කයන් අයාලේ යෑම ද දැරිය නොහැකි පාඩුවක් බවට පත් වුනා.

ශ්‍රී ලංකා පිතිකරු දක්ෂතා

Player Mat Inns NO Runs HS Ave 50
1 කුසල් මෙන්ඩිස් 8 8 1 223 79 31.85 2
2 පැතුම් නිස්සංක 7 7 0 214 74 30.57 2
3 ධනංජය ද සිල්වා 8 8 1 177 66* 25.28 1
4 චරිත් අසලංක 7 7 2 131 38* 26.20 0
5 භානුක රාජපක්ෂ 8 7 0 125 34 17.85 0

තරගාවලිය පුරා කාගේත් කතාබහට ලක් වූයේ කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක සහ ධනංජය ද සිල්වාගේ දක්ෂතා ගැනයි.

ඔවුන් පෑ දක්ෂතා අතරින් තෙවැනි ස්ථානයට පත් ධනංජය ගැන කතාබහ බොහෝ ය. ධනංජයගේ කැපී පෙනෙන ධනාත්මක තුන් ඉරියව් දක්ෂතා ඊට හේතුවයි. පිතිකරුවෙක් ලෙසත් සහ තාවකාලික පන්දු යවන්නෙක් ලෙසත් ධනංජය පෑ දක්ෂතා අගය කළ යුතුයි.

ධනංජය මෙම තරගාවලියේ තමන්ගේ ලකුණු ගිණුම තර කිරීමේ නිතර වීමේ දී තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීම ද කැපී පෙනුණා. ඒ ඇෆ්ගනිස්තානයට එරෙහිව නොදැවී ලබා ගන්නා ලද ලකුණු 66 යි.

අනෙකුත් පිතිකරුවන් අතරින් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක පෑ දක්ෂතා අගය කළ යුතුයි. නමුත් ඔවුන්ගේ දක්ෂතා ගැන ඉහළින් කතා කළ හැකි වූව ද කණ්ඩායමක් ප්‍රතිපෝෂණය කිරීමේ දී එය ප්‍රමාණවත් නැති බවක් ද කිව යුතුයි.

අවාසනාව යනු, මේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාට තරගාවලිය පුරාම එක්ව දීර්ඝ ඉනිමක් ගොඩ නැගීමට නොහැකි වීමයි. ඔවුන් දෙදෙනා තරග 7ක දී ආරම්භක පිතිකරුවන් ලෙසින් සේවය සලසා ඇති අතර ලබා ඇති ලකුණු සංඛ්‍යාව 149ක්.

එහි තරගයක සාමාන්‍ය 21.28ක්. ආරම්භක පිතිකරු යුගලකගේ සහසම්බන්ධතාව මීට ඉහළ අගයකින් යුත් විය යුතු අතර එය කණ්ඩායමක ශක්තිමත් අඩිතාලමක් කරගත යුතුයි.

ඔවුන් පළමු කඩුල්ල වෙනුවෙන් ලබා ගත්තේ නැමීබියාවට ලකුණු 14ක්, UAE ලකුණු 42ක්, නෙදර්ලන්තයට ලකුණු 36ක්, ඕස්ට්‍රේලියාවට ලකුණු 6ක්, නවසීලන්තයට ලකුණු 0ක්, ඇෆ්ගනිස්තානයට ලකුණු 12ක් සහ එංගලන්තයට ලකුණු 36ක් ලෙසිනුයි.

අයර්ලන්තය සමඟ තරගයේ දී පැතුම් ක්‍රීඩා නොකළ අතර ආරම්භක පිතිකරුවන් ලෙසින් කටයුතු කළ කුසල් සහ ධනංජය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 63ක්. එය මෙවර තරගාවලියේ පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

පිතිකරුවන් ලෙසින් ම කණ්ඩායමට එක් වූ චරිත් අසලංක සහ භානුක රාජපක්ෂ ද මීට වඩා සේවයක් තම කණ්ඩායම වෙනුවෙන් ලබා දුන්නා නම් මෙහි ප්‍රතිඵලය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණා. එමෙන් ම නායකයා ලෙසින් දසුන් ශානකගේ පිත්ත ද මීට වඩා ක්‍රියාත්මක කළ හැකිව තිබුණා.

පන්දු යවන්නන් ලෙසින් කණ්ඩායමට එක් වූව ද දක්ෂතා දක්වන පිතිකරු ලැයිස්තුවේ ද අසුන් වෙන් කරගෙන සිටින වනිඳු හසරංග සහ චාමික කරුණාරත්න ද මීට වඩා වැඩි දායකත්වයක් තම කණ්ඩායම් වෙනුවෙන් දැක්විය යුතුව තිබුණා.

මේ සියලු දෙනාගේ පිති නිහඬ වීම තුළ සිදු වූයේ ඔවුන්ට මෙරට සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හා එක්ව ම ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරග රූපවාහිනී තිර මගින් බලා සිටිමට සිදු වීමයි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතා

Player Mat Overs Mdns Runs Wkts BBI
1 වනිඳු හසරංග 8 31.1 1 199 15 3/8
2 මහීෂ් තීක්ෂණ 8 30.1 0 202 9 2/15
3 ලහිරු කුමාර 6 20.1 0 153 7 2/24
4 ධනංජය ද සිල්වා 8 12.1 0 83 6 2/24
5 දුශ්මන්ත චමීර 2 7.5 0 54 4 3/15

පන්දු යවන්නන් අතරින් නැවත වතාවක් ඉහළ ස්ථානයක් හිමි කර ගැනීමට වනිඳු හසරංග සමත් වෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් පමණක් නොවේ, මේ දක්වා මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වී සිටින්නේ ද වනිඳු. ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 15ක්.

මෙම ලෝක ලැයිස්තුවට අවසන් 4ට පැමිණ සිටින කණ්ඩායම් අතරින් එක් ව සිටින්නේ එංගලන්තයේ Sam Curran. ඔහු එහි 7 වැනි ස්ථානයේ සිටින්නේ කඩුලු 10ක් ලබා ගනිමින්. ඊට පසුව පාකිස්තානයේ  Shadab Khan සහ ඉන්දියාවේ Arshdeep Singh ද මෙම ලැයිස්තුවට එක් ව සිටින අතර ඔවුන් දෙදෙනා ද මේ දක්වා ලබාගෙන ඇත්තේ කඩුලු 10 බැගින්.

එබැවින් ඇතැම් විට ලෝක කුසලාන තරගාවලිය අවසන් වෙද්දීත් වනිඳුට මෙම ලැයිස්තුවේ පළමු වැනියා ලෙසින් සිටීමට ඇතැම් විට අවකාශ හිමි වෙනු ඇත. එය ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ එක ම පැතුමයි.

ඒ කෙසේ වෙතත් වනිඳුගේ පන්දු යැවීමේ දී අතවශ්‍ය ම තරගවල දී ලත් ප්‍රහාරයන් වලක්වාගත හැකි වූවා නම් වඩාත් සුබදායි අවසානයක් බලාපොරොත්තු තබා ගත හැකිව තිබුණා. වනිඳු පමණක් නොවේ, ශ්‍රී ලාංකික ලැයිස්තුවේ සිටින මහීෂ් තීක්ෂණ සහ ලහිරු කුමාරට ද එවැන්නකට යා හැකිව තිබුණා නම් වඩාත් වාසි සහගත වීමට ඉඩ තිබුණා.

නමුත් එවැන්නක් වීමට ප්‍රතිවාදී කණ්ඩායම් ඉඩ ලබා දුන්නේ නෑ. වනිඳු වැනි පන්දු යවන්නන්නට වඩාත් සූක්ෂම ආකාරයෙන් පන්දුවට පහර දීමට ඔවුන් පුහුණුව ලබා තිබුණා. කණ්ඩායමකින් කණ්ඩායමකට පිවිසීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් නොදුටු අනෙකුත් කණ්ඩායම්වලින් දුටු ප්‍රබල වෙනසත් එයමයි.

එවැනි සැලසුම් සහගත යෝජනා අප කණ්ඩායම් කළමණාකාරීත්වයේ ද තිබෙන්නට ඇති. එහෙත් ඒවා ක්‍රීඩාංගණය ඇතුලට පැමිණි බවක් අප දුටුවේ නැහැ. පිතිකරුවෝ පිතිකරුවන් ම වී සිටීමත් සහ පන්දු යවනනෝ ඒ වෙනුවෙන් ම පමණක් සිටිමත් පමණයි අප දුටුවේ. එහෙත් එය පමණක් ජයග්‍රහණයට ප්‍රමාණවත් නැති බව දැන්වත් තේරුම් ගත යුතුයි.

එහි පශ්චාත් පරීක්ෂණවල ගිලී සිටිනවාට වඩා මෙතැන් සිට වඩාත් ශක්තිමත් ගමනකට අඩි තාල ම දැමීමයි කළ යුත්තේ. එබැවින් අප නැවතත් අපේ අඩු-පාඩු හදාගනිමින් වඩාත් සුරක්ෂිත ගමනක් යෑමට උත්සාහ කරමු. පරාජයෙන් පන්නරය ලබමු.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<