ශ්‍රී ලංකා පුහුණුකරුගෙන් එංගලන්තයට ලෝක කුසලානය දිනන්න සුබ පැතුම්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

811
Chris Silverwood gives his idea about the Sri Lanka team

පසුගිය සෙනසුරාදා (05) එංගලන්තය හමුවේ ලද පරාජයෙන් අනතුරුව මාධ්‍ය හමුවට ආ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Chris Silverwood විසින්, තමන් මීට පෙර පුහුණුකාරිත්වය දැරූ එංගලන්ත කණ්ඩායමට ලෝක කුසලානය ජය ගැනීමට සුබ ප්‍රාර්ථනා එකතු කළා.

මීට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙවර ලෝක කුසලාන අත්දැකීම් සහ කණ්ඩායම වෙනුවෙන් සිය ඉදිරි බලාපොරොත්තු කෙසේ ද යන්නත් ඔහු විසින් මාධ්‍ය හමුවේ හෙලි කරා.

තරගාවලියේ දී ශ්‍රී ලංකාව මූලික වටයේ තරග තුනකට මුහුණ දෙමින් ඉන් තරග 2ක් ජයග්‍රහණය කළ අතර, සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේ දී ඔවුන් තරග පහකින් 2ක් පමණක් ජයග්‍රහණය කළේ තරග තුනක දී ම අමිහිරි පරාජයන් උරුම කර ගනිමිනුයි.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන ඉරණම විසඳී තිබූ නමුත්, එම තරගය ශ්‍රී ලංකා පුහුණුකරු වන Chris Silverwoodට වඩාත් වැදගත් තරගයක් බවට පත් වූ බව නොරහසක්.

ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය හෙබවීමට පෙර එංගලන්ත කණ්ඩායම සමඟ තෙවසරකට ආසන්න කාලයක් ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කළ අතර, 2021-22 අළුබඳුන තරගාවලියේ එංගලන්ත කණ්ඩායම තරග 4-0ක් ලෙස ලද දැවැන්ත පරාජයත් සමඟින් Silverwoodව එංගලන්ත කණ්ඩායමේ පුහුණුකාරිත්වයෙන් ඉවත් කෙරුණා. ඉන්පසුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්වීම් ලැබුවා.

සෙනසුරාදා තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට සහභාගී වූ Chris Silverwoodගෙන් මාධ්‍යවේදීන් ප්‍රථමයෙන්ම විමසා සිටියේ නැවත එංගලන්ත කණ්ඩායම මුණ ගැසීමේ අත්දැකීම කෙබඳු ද යන්නයි.

“ඇත්තටම පහුගිය දවස් ටිකේම මගෙන් වැඩියෙන්ම ඇහුව ප්‍රශ්නයක් තමයි ඒ, හැබැයි මට නම් ඒක එක තරගයක් විතරයි.

ඔවුන් අතරේ මගේ මිතුරන් ඉන්නවා, ඒ වගේම පරණ පුරුදු මුහුණු ආයෙත් දැක ගන්න ලැබීම සතුටක්. නමුත් අද අපිට අවශ්‍ය වුනේ දිනන්න විතරයි, අපි කලින් ඉඳන්ම සූදානම් වුනේ අපේ උපරිමය ලබා දීලා ඒ ඉලක්කය සාර්ථක කර ගන්නයි. ඒ වෙනුවෙන් අපේ කණ්ඩායම පසුගිය මාස කිහිපයේම දිනෙන් දින දියුණු කරගත්තු ක්‍රීඩා ක්‍රම භාවිත කරනවා දකින්නයි අවශ්‍ය වුනේ.

අපි පරාජය වීම කනගාටුවට කරුණක්, නමුත් මම දැක්කා අපේ බොහෝ ක්‍රීඩකයින් තරගයට පිවිසෙන්න උත්සාහ කරනවා. ඒ වගේම අපි එංගලන්තයට හොඳ තරගයක් ලබා දුන්නා.”

Ben Stokes ඔවුන්ගේ එක අන්තයක් රැක ගෙන හිටියා, ඒ මොහොතේ අපිට පුළුවන් වුනා නම් තව එක කඩුල්ලක් බිඳ දමන්න තරගය තවත් තියුණු එකක් වෙන්න තිබුණා.”

නැවත එංගලන්ත කණ්ඩායම මුණ ගැසීම සහ තරගයෙන් ලද පරාජය පිළිබඳ ශ්‍රී ලංකා පුහුණුකරු එසේ පවසා සිටියා.

තවදුරටත් Ben Stokes පිළිබඳ සහ තරගාවලියේ දී ඔහුගේ දායකත්වය පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කළ Silverwood පවසා සිටියේ ඔහු පසුගිය වසර කිහිපයේම එංගලන්ත කණ්ඩායමේ නැංගුරම වූ බවත්, කණ්ඩායමට අත්‍යාවශ්‍යම මොහොතේ සිය දස්කම් ඔහු ප්‍රදර්ශනය කරන බවත් ය.

එමෙන්ම මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට තමන් එංගලන්ත කණ්ඩායමට සුබ ප්‍රාර්ථනා කරන නමුත් අනෙක් කණ්ඩායම් ද ඉතා හොඳ කණ්ඩායම් බැවින් ඕනෑම දෙයක් සිදු විය හැකි බවත් Silverwood විසින් ප්‍රකාශ කර සිටියා.

“අවංකවම ඕනම කණ්ඩායමක් ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න ඉඩ තියෙනවා, නමුත් මගේ පරණ මිතුරන් රාශියක්ම ඉන්න එංගලන්ත කණ්ඩායමට මම ලෝක කුසලානය වෙනුවෙන් සුබ පතනවා.”

මේ අතර තරගයට භාවිත වූ සිඩ්නි තණතීරුව තරමක් පරණ එකක් වුවත් තවත් අමතර දඟපන්දු යවන්නකු කණ්ඩායමට එක් කර නොගැනීම මෙන්ම, පිටියේ ස්වභාවය තරගයට බලපෑ අයුරු පිළිබඳව ද Silverwood විසින් මෙසේ සිය අදහස් පල කර සිටියා.

“අපි කොහොමත් දඟපන්දු යවන්නන් තුන් දෙනෙක් සමඟයි ක්‍රීඩා කරන්නේ, ඒ වගේම අවශ්‍ය වුනොත් චරිතුත් (අසලංක) ඉන්නවා. තවත් අමතර දඟපන්දු යවන්නෙක් සමඟ ගියා නම් කණ්ඩායමේ සමබරතාවය ගිලිහිලා යන්න ඉඩ තිබුණා. දඟපන්දුවෙන් දෙයක් කරන්න බැරි වුනොත් අපි හිර වෙන්න ඉඩ තිබුණා. පන්දු යැවීමේ බල ඇණියේ විවිධත්වයක් තබා ගැනීමට අපිට අවශ්‍ය වුනා.

අපි මේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරපු කලින් තරගයේ දී වගේම, අපේ තරගයට පෙර තරගයේ දීත් ලැබූ අත්දැකීම් නිසා අපි දැනගෙන හිටියා පරණ වෙන්න පන්දුව තණතිල්ලේ වැදිලා තරමක් හෙමින් පිත්තට එන බව. අපිට තව ලකුණු 20 පමණ රැස් කරලා, ලකුණු 160ක් පමණ ලබා ගන්න පුළුවන් වුනා නම් තරගය ඉතාම තරගකාරී එකක් වෙන්න ඉඩ තිබුණා.”

මේ අතර පසුගිය ආසියානු කුසලානයේ දී ඇෆ්ගනිස්තානය හමුවේ ලද පරාජයෙන් අනතුරුව මුහුණ දුන් සියලු තරග ජයග්‍රහණය කරමින්, ආසියානු ශූරයින් බවට පත් වීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඕස්ට්‍රේලියාවේ දී තරග කිරීමට සිදු වුනේ ආසියානු කුසලානය පැවැත්වුණු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා පිටි වලට වඩා හාත්පසින්ම වෙනස් ඒවාගේයි.

සෙනසුරාදා පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ආසියානු කුසලානය දිනා ගැනීමට ලැබීම සහ එතැන් සිට මෙවර ලෝක කුසලානයේ දී කණ්ඩායමේ ප්‍රගතිය කෙසේ ද යන්න පිළිබඳව විමසූ විට Silverwood විසින් මෙසේ පවසා සිටියා.

“ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට ලැබීම විශිෂ්ට දෙයක්, ඒක ඔවුන්ගේ රටටත් ඉතාම වටිනා ජයග්‍රහණයක්. ඔවුන්ගේ මුහුණුවලට සිනහවක් ගෙන්න ලැබීම ඇත්තටම සතුටක්. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයින්ගෙන් අපිට ලැබුණු සහයත් ඉතාම විශාලයි.

ආසියානු කුසලානයට පෙර තරග සංචාරයේ සිටම මට අවශ්‍ය වුනේ අපි භාවිතා කරන්න යෝජනා කර ගත් ක්‍රමවල (සීමිත ඕවර තරගවල) ප්‍රගතියක් දැකීමයි.

සබඳතා ගොඩ නගා ගැනීම, පන්දු යවන්නන්ට ප්‍රහාර (attack) එල්ල කළ යුත්තේ සහ නොකළ යුත්තේ කුමන වෙලාවේ ද යන්න, ඉවසීමෙන් ක්‍රීඩා කළ යුතු අවස්ථා තෝරා ගැනීම වගේම පසු බාමින් සිටින අවස්ථාවක නැවත නැගී සිටින්නේ කොහොමද වගේ දේවල් ඔවුන්ගෙන් දකින්නයි මට අවශ්‍ය වුනේ.

මට අවශ්‍ය වුනේ ඔවුන් ඔවුන් ලෙසින්ම පිටියට ගිහින්, තමන්ගේ විදිහට ක්‍රීඩා කරමින් දියුණු වෙනවා බලන්නයි.”

එමෙන්ම මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමනට බලපෑ තවත් ප්‍රධානතම ගැටලුව බවට පත් වුනේ තරගාවලිය ආරම්භයේ පටන්ම ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම වරින් වර ආබාධවලට ගොදු වීමයි.

“එතන දී අපිට යම් අවාසනාවක් තිබුණා වෙන්නත් පුළුවන්, නමුත් මේ දේවල් ගැන අපි හරි ආකාරයෙන් සොයා බැලිය යුතුයි. මම සහ මගේ කාර්‍ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ මේ සඳහා වන වැඩපිළිවෙළ පිළිබඳව සොයා බලනවා.

මම ඒ දේවල් ගැන දැන්ම විස්තර හොයන්න යන්නේ නැහැ, එහෙම වුනොත් ඒක තරමක් අසාධාරණ ක්‍රියාවක් වෙනවා. නමුත් අපිට තවත් වැඩි දියුණු කළ හැකි දේවල් මොනවා ද කියලා අපි අනිවාර්‍යෙන් හොයා බලනවා. මොකද ආබාධ එක්ක ජීවිතයේ ඉදිරියට යාම බොහෝම අසීරු දෙයක්. ඒවා අවම කර ගත යුතුයි.”

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් මුහුණ දුන් ආබාධ සම්බන්ධ ගැටලුව ජය ගැනීමට තමන්ට ඇති අදහස පිළිබඳ Silverwood විසින් දල අදහසක් ප්‍රකාශ කරමින් එසේ පවසා සිටියා.

එමෙන්ම තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ තරග පරාජයන්ට විශාලතම හේතුව බවට පත් වුනේ දුර්වල පන්දු රැකීමයි. නමුත් එංගලන්තය සමග තරගයේ දී එම දුර්වලතාවය මග හරවා ගැනීමට ඔවුන් සමත් වී සිටියත්, එය ජයග්‍රහණයක් වෙත යාමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ.

කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම් පිළිබඳ Silverwoodගේ අදහස මෙසේයි,

“පන්දු රැකීම කියන්නේ අපි දියුණු කර ගත යුතු අංශයක්, අපි ඒ ගැන මාධ්‍යයට කතා කරන්න පසුබට වෙන්නේ නැහැ සහ අපි ඒක හංගන්න උත්සාහ කරන දෙයකුත් නෙවෙයි. එය අපි මේ වන විටත් තවත් දියුණු කරගැනීමට ක්‍රියා කරමින් සිටින අංශයක්.”

එමෙන්ම මීළඟ එක්දින ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත අතර එය ශ්‍රී ලංකාවට හිතකර තත්ව යටතේ පැවැත්වීමට නියමිත බැවින් ඒවායේ දී ශ්‍රී ලංකාවට හොඳ දෙයක් කල හැකි වේ යැයි Silverwood විසින් විශ්වාසය පළ කරනවා.

“එහි තත්වයන් අපිට හුරු පුරුදුයි, එය අපිට උදව්වක් වේවි. නමුත් අපි තවදුරටත් ගොඩ නැගිය යුතුයි. අනිවාර්‍යෙන්ම පන්දු රැකීම දියුණු කර ගත යුතුයි. අපි දැන් ගිහින් හැම දෙයක් පිළිබඳවම නැවත හැරී බැලිය යුතුයි. ඒ අනුව අපේ දියුණු කර ගත යුතු දේවල් ගැන අවබෝධයක් ලබා ගත යුතුයි.”

මේ අතර මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඉහළම ලකුණු ලාභීන් අතර වැජඹෙමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක ගේ පිතිකරණ දක්ෂතා පිළිබඳව ද සිය අදහස් ප්‍රකාශ කිරීමට Silverwood අමතක කළේ නැහැ.

“අපිට කුසල් ගැන සතුටුයි, ඔහු ඉහළටම ආවා. ඒ වගේම ඉහළින්ම රැඳී සිටිනවා. ඒ වගේම පැතුම් දිනෙන් දින දියුණු වෙනවා. ඔහුට එය පහසු කාර්‍යයක් නෙවෙයි, නමුත් ඔහු දැඩි ලෙස මහන්සි වෙනවා. අරමුණක් සහිතව පුහුණු වෙනවා. ඔහු ලකුණු ලබාගන්න තරමට ඔහුගේ විශ්වාසය ඉහළ යනවා.

මම පෞද්ගලිකව මුල්පෙළ පිතිකරණය ගැන සතුටු වෙනවා. ඔවුන් මැදපෙළ පිතිකරුවන්ට වේගයෙන් ලකුණු ලබා ගැනීමට අවශ්‍ය වේදිකාව හදලා දුන්නා. ඔවුන් ක්‍රීඩා කරන විධිය දියුණු කරගත්තා, හොඳ සම්බන්ධතා ගොඩ නගා ගත්තා.

අපිට අනෙක් සමහර කණ්ඩායම්වල වගේ ප්‍රහාරාත්මක පිතිකරුවන් නැහැ, ඒ නිසා අපිට පන්දුව හරි තැන් වලට යොමු කරලා ලකුණු සඳහා දුවන්න වෙනවා. අපිට ගැළපෙන විදිහ මොකද්ද කියලා තේරුම් අරගෙන, එය දියුණු කරන්නයි අපි උත්සාහ කරන්නේ.

එමෙන්ම මෙවර තරගාවලියේ මේ වන විට වැඩිම කඩුලු ලාභියා මෙන්ම, 2021 ලෝක කුසලානයේ දීත් වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ වනිඳු හසරංග පිළිබඳවත් Silverwood සිය අදහස මෙසේ ප්‍රකාශ කළා.

“වනිඳු කියන්නේ තරග දිනවන්නෙක්, එහෙම නෙවෙයි ද? ඔහු ක්‍රීඩා කරනවා බලන්න ඔබ මුදල් දීලා ඒවි. ඔහු හොඳ ක්‍රීඩකයෙක්.”

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<