මාලිංග නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට!

3650
Lasith Malinga

හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග හට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක ධූරය ඔහු වෙත පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඉහළ පෙළේ ක්‍රිකට් විශේෂඥයින්ගෙන්  සැදුම්ලත් උපදේශක කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) විධායක කමිටුව වෙත මාලිංගගේ නම මේ සඳහා යෝජනාකොට තිබුණේ එළඹෙන ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස තරග සංචාරය ආරම්භයට ප්‍රථමයෙන් ඔහුගේ සේවය ලබා ගැනීමේ අරමුණෙනි.

38 වැනි වියේ පසුවන ලසිත් මාලිංග පුරා දශකයකට ආසන්න කාලසීමාවක් IPL වැනි ලොව ප්‍රධාන පෙළේ ක්‍රිකට් ලීගයන් නියෝජනය කරමින් විස්සයි විස්ස තරග ආකෘතිය උඩුයටිකුරු කිරීමට දායක වූ සුවිශේෂී චරිතයක් ලෙස ඉතිහාස පොත් අතරට එකතු වී තිබෙන්නේ මෙතෙක් බිහි වූ ලොව විශිෂ්ටතම T20 පන්දු යවන්නා යන ගෞරව නාමයට ද හිමිකම් කියමිනි.

ජාත්‍යන්තර තරග බිමට තවමත් ආධුනික යොවුන් ක්‍රීඩකයින් රැසකගෙන් සැඳුම්ලත් ශ්‍රී ලංකා සංචිතය සමඟ ලසිත් මාලිංග වැනි ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව හසළ දැනුමක් ඇති විශිෂ්ටයෙකු අත්වැල් බැඳගැනීම එම ක්‍රීඩකයින් හට ද සුවිශේෂී අත්දැකීමක් වනු නොඅනුමානය.

මින් පෙර මාලිංග ඔහු නියෝජනය කළ Mumbai Indians කණ්ඩායමේ පුහුණු උපදේශකවරයෙකු ලෙස කටයුතුකොට ඇති නිසාවෙන් ඔහුට පැවරී ඇති රාජකාරිය සම්බන්ධයෙන් අවශ්‍ය නිසි පසුබිම ඔහු සතුව ඇති බවට ද එමඟින් අනුමාන කළ හැක.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ තරග කාලසටහන

  • පළමු T20 තරගය – පෙබරවාරි 11 වැනිදා – SCG ක්‍රීඩාංගණය
  • දෙවැනි T20 තරගය – පෙබරවාරි 13 වැනිදා – Gabba ක්‍රීඩාංගණය
  • තෙවැනි T20 තරගය – පෙබරවාරි 15 වැනිදා – මෙට්‍රික් ක්‍රීඩාංගණය
  • සිව්වැනි T20 තරගය – පෙබරවාරි 18 වැනිදා – ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණය
  • පස්වැනි T20 තරගය – පෙබරවාරි 20 වැනිදා – MCG ක්‍රීඩාංගණය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<