පාපන්දුලෝලීන්ගේ සිහිනයක් සැබෑ කරන්නට සියල්ල සූදානම්!

320

පාපන්දු ලෝක ශූරතා තරගාවලියේ කුසලාන චාරිකාව සිව්වැනි අදියර හරහා එම කුසලානය රටවල් 54කට රැගෙන යාමට නියමිත අතර එහි ආරම්භය සනිටුහන් වන්නේ ශ්‍රී ලංකාවෙන් වේ.

ශ්‍රී ලංකා පාපන්දුලෝලීන්ට දුර්ලභ අවස්ථාවක්

පාපන්දු ක්‍රීඩාවේ ඉහළම ගෞරවය ලෙස සැලකෙන ලෝක කුසලාන ශූරතාවය ලොව පුරා රැගෙන යාමේ චාරිකාව එළඹෙන ජනවාරි මස…

ඒ අනුව පාපන්දු ලෝක ශූරතා තරගාවලියේ නිල කුසලානය එළඹෙන 23 වන දින ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත අතර එය 24 වන දින සවස් යාමය දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. ඒ අනුව වාසනාවන්ත ක්‍රීඩාලෝලීන් 1500 දෙනෙකු හට සිය ජීවිතයේ දී යළි අත්දැකීමට නොලැබෙන සුවිශේෂී අවස්ථාවක් හිමිවන්නේ ඔවුන්ට මෙම කුසලානය පෞද්ගලිකවම දැක බලා ගැනීමේ භාග්‍යය හිමිවන බැවිනි.

මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පසුගිය දා (18) ක්‍රීඩා අමාත්‍යංශයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවති අතර ඒ සඳහා ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, ගරු සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අරුණ ද සිල්වා මහතා සහ ‘Coca-Cola’ සමාගමේ දකුණු – බටහිර ආසියානු කටයුතු පිළිබඳ උප සභාපති ඩෙබබ්‍රාටා මුකර්ජි මහතා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙක් එක්ව සිටියහ.

‘FIFA’ පාපන්දු ලෝක කුසලානය ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අරුණ ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ; “පාපන්දු ක්‍රීඩකයෙක්ට ලබා ගන්න පුළුවන් ඉහළම ජයග්‍රහණය තමයි පාපන්දු ලෝක කුසලානය. ඒ නිසා මේ ශූරතාවය පළමු වරට ශ්‍රී ලංකාවට පැමිණීම ඉතා වටිනා අත්දැකීමක්.”

ශූරයින්ගේ කුසලානය අඛණ්ඩව තුන්වන වරටත් කොළඹට

2017 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම තීරණය කෙරෙන තරගය ලෙස….

එමෙන්ම මේ පිළිබඳ අදහස් දැක්වූ ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටියේ; ලෝක පාපන්දු කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ඒම සුවිශේෂී වරප්‍රසාදයක් වගේම ඒක ඉමහත් ප්‍රෞඪ අවස්ථාවක්. මේක ශ්‍රී ලාංකිකයන් හට ලොකු ගෞරවයක් ගෙන දෙනවා.”

එමෙන්ම ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ වත්මන් තත්වය සහ මෙම කුසලාන සංචාරය හරහා පාපන්දු ක්‍රීඩාව දියුණු කළ හැකි ආකාරය පිළිබඳව අදහස් දැක්වූ අරුණ ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ; “මේක පාපන්දු සම්මේලනයට, මහජනතාවට, පාපන්දු ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට වගේම පාපන්දු ක්‍රීඩාවට අදාළ පරිපාලනයට, පාපන්දු සම්මේලනය සමඟ එක්වෙලා, ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ඊළඟ තලයට ගෙන යන්න ලැබෙන හොඳ අවස්ථාවක්. අපි හැමෝටම ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් ලොකු දෙයක් කරන්න තියෙනවා. ඒක අපි අපේ වගකීමක් වගේම අභියෝගයක් විදිහට සලකනවා. ඒ නිසා ලෝක කුසලානය ශ්‍රී ලංකාවට පැමිණීම අවස්ථාවක් කරගෙන ඒක අපි පාපන්දු ක්‍රීඩාව දියුණු කරන්න යොදාගත යුතුයි.”

තවදුරටත් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීම උදෙසා සකසන ලද ‘Football Vision 2030’ වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ; “පාපන්දු ක්‍රීඩාව කියන්නේ ශ්‍රී ලංකාවේ වැඩිපුරම ක්‍රීඩා කරන ක්‍රීඩා අතරින් එකක්. ශ්‍රී ලංකාවේ හැම කොනකම වගේ පාපන්දු ක්‍රීඩාව ක්‍රීඩා කෙරෙනවා. ඒ නිසා මේක තමයි හරිම වෙලාව ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ඊළඟ තලයට ගෙන යන්න. අපිට ලැබෙන මේ අවස්ථාව පාපන්දු ක්‍රීඩාව දියුණු කරන්න ලැබෙන අවස්ථාවක් විදිහට සලකලා අපි තීරණය කළා ‘Football Vision 2030’ කියලා සංවර්ධන වැඩසටහනක් දියත් කරන්න. ඒ අනුව අපිට දැන් පැහැදිලි දැක්මක් සහ අදහසක් තියෙනවා 2030 වසරේ දී ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව තියෙන්න ඕන කොතනද කියන එක ගැන. ඒ සැලැස්ම හරහා බිම් මට්ටමේ පාපන්දු ක්‍රීඩාව, යොවුන් පාපන්දු ක්‍රීඩාව, පාසල් පාපන්දු ක්‍රීඩාව, අන්තර් සමාජ තරගාවලි සහ ජාතික තලයේ පාපන්දු ක්‍රීඩාව වගේ සෑම පැතිකඩක්ම ආවරණය වෙනවා. එළඹෙන 24 වන දින අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා විසින් මෙම වැඩසටහන දියත් කිරීම ආරම්භ කළාම ඒ ගැන වැඩිදුර විස්තර ලබා දෙන්නම්.”

එමෙන්ම මෙම අවස්ථාවට එක්වූ මුකර්ජි මහතා අදහස් දක්වමින් පවසා සිටියේ; “කතාවක් තියෙනවා හමුදා දහසකගේ බලයකට වඩා නියමිත වෙලාව ඇවිත් තියෙන අදහසක් බලවත් කියලා. ඉතින් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවත් දැන් ඒ වගේ නියමිත වෙලාව ඇවිත් තියෙන අදහසක්.”

ඉන් අනතුරුව මීට පෙර පැවති කුසලාන සංචාරයක සිදුවූ සිදුවීමක් සිහි කැඳවමින් ඔහු පවසා සිටියේ; “කලින් තිබුණ කුසලාන සංචාරයක සිදුවුණ සිදුවීමක් නිසා මම ගොඩක් හැඟීම්බර වුනා. ගොඩක් ප්‍රසිද්ධ බ්‍රසීලයේ පාපන්දු ක්‍රීඩකයෙක් වෙච්ච කාලස් ඇල්බර්ටෝ පසුගිය වසරේ දී අප අතරින් වෙන්වුණා. ඔහු තමයි 1970 වසරේ දී පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ බ්‍රසීල කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ. ඒ බ්‍රසීලය පාපන්දු ලෝක කුසලානය දිනාගත්ත 3 වෙනි පාර. ඒ කණ්ඩායමේ පේලේ ක්‍රීඩා කළා. එහි දී බ්‍රසීලය ගෝල 4-1ක් ලෙස ඉතාලිය පරාජයට පත්කරද්දී කාලස් ඇල්බර්ටෝ විසින් තමයි 4 වන ගෝලය වාර්තා කළේ. මම ඔබව මීට අවුරුදු 40කට කලින් මෙක්සිකෝ නගරයට රැගෙන යන්නම්. එවෙලේ ගොඩ දෙනෙක් පන්දුව ඉල්ලා සිටියත් පේලේ පන්දුව ඇල්බර්ටෝ වෙත යොමු කරනවා. ඉතින් මම ඇහුවා සර්, ඔබට පන්දුව ලැබුණාම ඔබට මොනවද දැනුණේ කියලා. ඔහු පවසා සිටියේ, ‘මං මගේ මනසින් සියලු දේ ඉවත් කළා. කිසිම ක්‍රීඩකයෙක් පිටියේ සිටියේ නැහැ., ක්‍රීඩාලෝලීන් නැහැ, මගේ එකම ඉලක්කය තිබ්බේ ගෝලය වෙත. ඉතින් ඇල්බර්ටෝ ඒ වාර්තා කරගත් සිව්වන ගෝලය ලෝක කුසලාන තරගාවලියක වාර්තා වුන හොඳම ගෝල අතරට එක්වුණා.”

ඔහු තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ; “මම මේක ඔබට කියන්නේ, පාපන්දු ක්‍රීඩාවෙන් ඔබ නැඟී සිටින කොට ගොඩ දෙනෙක් කියයි ඉහළට යන්න බැහැ කියලා. නමුත් ඔබේ ඉලක්කය ගැන ඔබට විශ්වාසයක් තියෙනවා නම්, සියලු දේවල් ඉවත් කරලා ලෝකයේ තිබෙන හොඳම පාපන්දු රටවල් අතරට එක්වීමේ හැකියාව ශ්‍රී ලංකාවට තියෙනවා. ඒ වගේම ‘Coca-Cola’ සමාගමේ අපි ඒ ඔබ යන ගමන සමඟ එක්වන්න ගොඩක් කැමැත්තෙන් සිටින්නේ. ඒ නිසා අපි පාපන්දු කුසාලනය ශ්‍රී ලංකාවට පැමිණීම ගැන ගොඩක් සතුටට පත්වෙනවා වගේම බලාපොරොත්තු වෙනවා ඔබ සැම ඒ සඳහා පැමිණෙයි කියලා.”

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<