වනිඳුට සහ චමීරට IPL යන්න අවසර

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

1145

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ වේගපන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීර හට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමට අවසර ලැබී තිබෙනවා. 

මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙරට ක්‍රිකට් තාක්ෂණික කමිටුව සමඟින් සාකච්ඡා කර අදාළ අවසර ලබා දුන් බව ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කර තිබුණා.

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය අප්‍රේල් මාසයේ ඉන්දියාවේ දී ආරම්භ වූ අතර තරගාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩකයන් කීපදෙනෙකු සහ නිලධාරීන් කීපදෙනෙකු හට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා තරගාවලිය අතරමඟ නවතා දැමීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කළා. 

ඉන් අනතුරුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර එළඹෙන සැප්තැම්බර් 19 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත් දෙවැනි අදියර සඳහා ක්‍රීඩකයන් කීපදෙනෙකුම සහභාගී නොවීම යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති කළ අතර එලෙස සහභාගී නොවන විදෙස් ක්‍රීඩකයන් සඳහා නව ක්‍රීඩකයන් එක්කර ගැනීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් සංවිධායකයන් අවසර ලබා දුන්නා. 

විස්සයි විස්ස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ පසුවන වනිඳු හසරංග සහ පසුගිය තරගාවලි කීපය තුල කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ දුශ්මන්ත චමීර Royal Challengers Bangalore සමඟින් එක්වන්නේ ඒ අනුවයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලියෙන් අනතුරුව ආරම්භ වීමට නියමිතයි. වනිඳු හසරංග හට සහ දුශ්මන්ත චමීර හට ඒ සඳහා සහභාගී වීමට අවසර ලබා දෙමින් No Objection Certificate නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද තීරණය කළා. ඒ අනුව වනිඳු හසරංග සහ දුශ්මන්ත චමීර එළඹෙන සැප්තැම්බර් 15 වැනිදා සිය කණ්ඩායම සමඟින් එක්වනු ඇති.

2021 ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම එහි දී සුදුසුකම් ලැබීමේ වටය සඳහා සහභාගී වනවා. මේ හේතුවෙන් වනිඳු හසරංග සහ දුශ්මන්ත චමීර ඔක්තෝබර් 10 වැනිදා නැවත ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්වීමට නියමිතයි. 

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර විස්සයි විස්ස තරග දෙකකින් යුත් තරගාවලියක් ඔක්තෝබර් මස 7 වැනිදා සහ 9 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත් වනිඳු සහ දුශ්මන්ත හට එම තරග දෙක සඳහා සහභාගී වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ඔක්තෝබර් 10, 11 සහ 13 පැවැත්වීමට සැලසුම් කර ඇති අතර වනිඳු හසරංගට සහ දුශ්මන්ත චමීර හට එම තරග ද මඟහැරෙනු ඇති.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<