පළමු පෙළ පෙරළියක්! කණ්ඩායම් ගණන 26 සිට 15 දක්වා අඩු වේ!

ශ්‍රී ලංකා ක්‍රිකට් - දේශීය තරගවාරය 2021/22

5165

පළමු පෙළ ක්‍රිකට් තරග ආකෘතියෙහි පවත්නා දුර්වලතා සහ එහි දක්නට ලැබෙන ගැටලුකාරී තත්වයන් මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය තුල නිරන්තරයෙන්ම කතාබහට ලක්වන මාතෘකාවක්.

ඒ අනුව යමින් මෙම ගැටලුවට සාධනීය පිළිතුරක් සොයන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය මැදිහත්ව කටයුතු කොට තිබෙන්නේ සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගොස් පළමු පෙළ තරග ආකෘතියේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට අවශ්‍ය අඩිතාලම සකසා දෙමිනි.

ඒ අනුව අද (28) දිනයේ දී පැවති ශ්‍රී ලංකා  ක්‍රිකට් සාමාජිකත්ව මහා සභා රැස්වීම අතරතුර දී පළමු පෙළ ක්‍රිකට් ආකෘතියෙහි සිදු විය යුතු ප්‍රධාන වෙනස්කම් කිහිපයක් අලලා සැකසුණු යෝජනාවලියක් සම්මත වී තිබුණේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමන පිළිබඳ සුභදායී බලාපොරොත්තුවක් ක්‍රීඩාලෝලීන් හට ද ලබා දෙමිනි.

මෙම නව සැලසුම් සහ ආකෘතීන් ඇතුළත් යෝජනාවලිය නිර්මාණය කිරීම සඳහා සම්පත් දායකත්වය ලබා දී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි සංවිධායක කමිටුවේ ප්‍රධානී සමන්ත දොඩංවල මහතා ඇතුළු කමිටු නිලධාරීන් සහ ඔවුන්ට තාක්ෂණික වශයෙන් අවශ්‍ය මාර්ගෝපදේශයන් සියල්ල ලබා දෙමින් නායකත්වය ලබා දුන් අරවින්ද ද සිල්වා මහතා ඇතුළු තාක්ෂණික උපදේශක කමිටුව විසිනි.

අද (28) දිනයේ දී සම්මත වූ යෝජනාවලියේ දක්වා ඇති නව වැඩපිළිවෙළට අනුව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත 2021/22 තරග වාරයේ සිට බලාත්මක වන පරිදි මෙතෙක් ‘Tier A සහ Tier B’ යනුවෙන් කාණ්ඩ දෙකකින් ක්‍රියාත්මක වූ පළමු පෙළ අන්තර් සමාජ තරගාවලිය වෙනුවට නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කොට තිබෙන බව ද මෙහි දී වැඩිදුරටත් සඳහන්කොට තිබුණි.

මෙතෙක් පැවති කාණ්ඩගත කිරීම් අනුව Tier A සහ Tier B නියෝජනය කරමින් පිළිවෙළින් කණ්ඩායම් 14ක් සහ 12ක් බැගින් ක්‍රීඩා කළ අතර තුන්දින තරගාවලිය සඳහා මෙම වර්ගීකරණ ක්‍රමවේදය බලපෑ නමුත් එක්දින පන්දුවාර 50 තරගාවලියේ දී කණ්ඩායම් 26ම එකම ස්ථරයක සිට තරග වැදුණි.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

මෙරට තුල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින COVID-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ යම් අඩුවක් සටහන් වූ වහාම සෞඛ්‍ය අංශවල ද පූර්ණ අනුමැතිය සහ අනුදැනුම ඇතිව ආරම්භ කිරීමට නියමිත පළමු පෙළ තරගවාරයේ දී දැනට ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම් 26 එක් කාණ්ඩයකට කණ්ඩායම් 13ක් වන ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරමින් ප්‍රධාන අන්තර් සමාජ තෙදින සහ එක්දින පන්දුවාර 50 තරගාවලි ද්විත්වය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

එහි දී එක් කණ්ඩායමකට එක්දින පන්දුවාර 50 තරග 12ක් සහ තෙදින තරග 12ක් බැගින් ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා වනු ඇත.

මෙහි දී අදාළ කාණ්ඩ දෙක යටතේ පැවැත්වෙන තරග සියල්ලක්ම සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අවසන් ස්ථානයට පත්වන කණ්ඩායම් දෙකට ඊළඟ තරග වාරයේ දී Governor’s කුසලාන තරගාවලිය දක්වා එක් පියවරක් පසුබැසීමට සිදු වනු ඇත.

දේශීය පළමු පෙළ තරග බිමේ කිරුළ හිමි කරගන්නා කණ්ඩායම තෝරාපත් කර ගැනීම සඳහා අදාළ කාණ්ඩ දෙකේ පළමු ස්ථානය හිමි කර ගන්නා ක්‍රීඩා සමාජ දෙක අතර සිව්දින අවසන් මහා තරගයක් පැවැත්වීමට ද ඒ අනුව යෝජනා වී තිබේ.

එක්දින තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ද අදාළ කාණ්ඩ දෙකේ පළමු ස්ථාන ද්විත්වය තහවුරු කර ගන්නා කණ්ඩායම් හතර නිතැතින්ම සුදුස්සන් බවට පත්වන ආකාරයේ ක්‍රමවේදයක් සකසා ඇත.

මීට අමතරව කොළඹ, ගාල්ල, මහනුවර, දඹුල්ල සහ යාපනය යන කණ්ඩායම් පහේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වන National Super League තරගාවලියේ ආරම්භයට පෙරාතුව එනම්, 2022 වසරේ ජනවාරි මාසයට ප්‍රථමයෙන් ප්‍රධාන දේශීය පළමු පෙළ තරගාවලි ද්විත්වය පවත්වා අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද SLC තරගාවලි සංවිධායක කමිටුව මෙහි දී පවසා තිබුණි.

ජනවාරි, පෙබරවාරි සහ මාර්තු යන මාස තුන පුරාවට දියත් කිරීමට සැලසුම් සකස් කොට තිබෙන National Super League තරගාවලිය ද පන්දුවාර 50 සහ සිව්දින තරග ලෙස අදියර දෙකකින් ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ සඳහා අදාළ සංචිතයන්ට ක්‍රීඩකයින් තෝරාපත් ගැනීමේ දී පළමු පෙළ තරගාවලියන් හී අදාළ ක්‍රීඩකයින් දැක්වූ පෙර දක්ෂතාවන් සැලකිල්ලට භාජනය කිරීමට ද කටයුතු කරන බව ද යම් ඉඟියක් ලබා දී තිබේ.

Lankan Premier League (LPL) තරගාවලිය දෙසැම්බර් මාසය දක්වා කල්දැමීමත් මෙරට තුල වත්මන් COVID-19 වයිරස ව්‍යාප්තියේ පෙන්වන අසාමාන්‍ය ඉහළ යාමත් වැනි හේතු සාධක කිහිපයක් නිසාවෙන් මෙවර තරග වාරය තුල දී ප්‍රධාන පෙළේ විස්සයි විස්ස තරගාවලියක් සංවිධානය කිරීමට ඇත්තේ ඉතාමත් අඩු ඉඩකඩක් බව ද පෙනෙන්නට තිබේ.

ThePapare.com වෙත සිය අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි සංවිධායක කමිටුවේ ප්‍රධානී සමන්ත දොඩංවල මහතා අවධාරණය කර සිටියේ මෙම සැලසුම් සහගත උපායමාර්ගය සාර්ථක කර ගනිමින් නිසි ප්‍රතිඵල දැක ගැනීමට නම් අවම වශයෙන් මෙම වැඩපිළිවෙළ ඉදිරි වසර 10ක කාලයක් පුරාවට අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු බවයි.

“අපි මේ ක්‍රියාදාමයත් එක්ක සෑම පළමු පෙළ ක්‍රීඩා සමාජයකට සම අවස්ථාවක් සලසා දීලා තියෙනවා ඔවුන්ගේ දැනට පවතින පළමු පෙළ වරප්‍රසාදය ඉදිරියට රැකගන්නත් දේශීය තරග බිමේ ඔවුන්ගේ ස්ථාරවත්වය සනාථ කර පෙන්වන්නත්”, යනුවෙන් ඒ මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තම අදහස් පළකොට සිටියේය.

ඉදිරි 2022/23 සහ 2023/24 යන තරග වාරයන් දෙකෙහිදීම මෙම වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමින් පළමු පෙළ නියෝජනය කරන මුළු කණ්ඩායම් ගණන 15 දක්වා ලඝු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම්කොට ඇති බවත් එමගින් තරගකාරීත්වයෙන් සහ ගුණාත්මකභාවයෙන් ඉහළ තරග ආකෘතියක් නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරෙන බව ද ඔවුහු පෙන්වා සිටියහ.

තවද 2023/24 තරග වාරයෙන් අනතුරුව පළමු පෙළ තරගාවලියේ දක්ෂතා අතර නොසිටීම නිසාවෙන් ඉවත් වන කණ්ඩායම කණ්ඩායම් 3කට එළඹෙන වසරේ දී Governor’s කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට සිදු වනු ඇති බව මෙහි දී පැහැදිලිව සඳහන්කොට තිබේ.

ලබන වසරේ පළමු කාර්තුව තුල දී ක්‍රියාත්මක කිරීමට නියමිත National Super League තරගාවලියට සමඟාමීව කණ්ඩායම් 22ගේ සහභාගීත්වයෙන් SLC Emerging යනුවෙන් තවත් තරගාවලියක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනටමත් කටයුතු සම්පාදනය කරමින් පවතී.

මෙම තරගාවලියේ විශේෂත්වය වන්නේ එක් ක්‍රීඩා සමාජයක් නියෝජනය කිරීම සඳහා අවස්ථාව උදාවන්නේ වයස අවු.23ට වැඩි ක්‍රීඩකයින් දෙදෙනෙකුට පමණක් වීමයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <&lt;