“T20 තරගවල අර්ධ ශතක ගණන් ගත යුතු නැහැ”

India Tour of West Indies 2023

2434

පසුගිය අඟහරුවාදා (08) දිනයේ ඉන්දියා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වුණු විස්සයි විස්ස තරගය නිමාවේ දී ඉන්දීය යොවුන් පිතිකරු Tilak Varma හට සිය අර්ධ ශතකය ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි කිරීම නිසා ඉන්දීය නායක Hardik Pandya හට දැඩි දෝෂාරෝපණ එල්ල වුනා.

දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ තෙවැනි තරගයේ දී ඉන්දීය කණ්ඩායමට පන්දු 14ක් තුළ ජයග්‍රහණය සඳහා ලකුණු 2ක් පමණක් අවශ්‍ය ව තිබූ මොහොතක ඉන්දීය නායක Pandya විසින් එවිට ලකුණු 49ක් ලබා සිටි Varma හට සිය අර්ධ ශතකය කරා යාමට ඉඩ නොදී හයේ පහරක් එල්ල කරමින් තරගය නිමා කළා.

මෙම තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ ගැලවුම්කරුවා බවට පත් වෙමින් විශිෂ්ට ලෙස පිතිකරණයේ යෙදුණු Tilak Varma හට එම අර්ධ ශතකය ලබා ගැනීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් ඉන්දීය සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් දැඩි ලෙස Pandyaව විවේචන කිරීමට පටන් ගත්තේ ඉන්පසුවයි.

මේ අතර හිටපු ඉන්දීය ආරම්භක පිතිකරුවෙකු වන Akash Chopra විසින් ද මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ, එම තරගය සමඟ දල ලකුණු වේගය ගණනය කිරීමක් හෝ සිදු නොවන නිසා Tilak හට සිය අර්ධ ශතකය කරා යාමට ඉඩ ලබා දිය යුතුව තිබූ බවයි.

නමුත් තවත් ප්‍රකට ඉන්දීය ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන Harsha Bhogle විසින් මේ පිළිබඳ ව දරන්නේ වෙනස් ම මතයක්.

“Tilak Varmaට අර්ධ ශතකය අහිමි වීම ගැන කතාබහ මට ප්‍රහේලිකාවක්. එය වැදගත් අවස්ථාවක් නෙවෙයි.

ශතකයක් හැරෙන්න විස්සයි විස්ස ක්‍රීඩාවේ විශේෂ සංධිස්ථාන (Land Mark) නැහැ. කණ්ඩායම් ක්‍රීඩාවක් තුළ ක්‍රීඩක ජයග්‍රහණ ගැන අපි ඕනවට වඩා උමතුවකින් ඉන්නවා.

විස්සයි විස්ස ක්‍රීඩාවේ පෞද්ගලික දක්ෂතා වාර්තා වල අර්ධ ශතක වාර්තා විය යුතුයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ.

ඔබ හැකි ඉක්මනින්, ඇති තරම් ලකුණු ලබා ගන්නවා නම් වැදගත් වන්නේ එයයි.”

Bhogle විසින් සිය Twitter ගිණුම හරහා මෙම අදහස පළ කර තිබූ අතර, හිටපු දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු AB De Villiers විසින් එය ඉතා කැමැත්තෙන් අනුමත කර තිබෙනවා.

“ස්තුතියි, ස්තුතියි, ස්තුතියි. අවසානයේ කවුරුන් හෝ එය කිව්වා.”

කෙසේ වෙතත් මෙම සිදුවීම නිසා ඉන්දීය නායක Hardik Pandya හට ලැබෙන අප්‍රසාදයේ නම් අඩුවක් සිදු වී නොමැති තරම්.

එමෙන්ම මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුළ කෙතරම් කතාබහට ලක් වුව ද සිදුවීමට සම්බන්ධ එකඳු පාර්ශවයකින් හෝ තවමත් ඒ පිළිබඳ කිසිදු සඳහනක් හෝ පැහැදිලි කිරීමක් සිදු නොකිරීමත් විශේෂත්වයක්.

මේ අතර Tilak Varma විසින් දක්වන මෙම පිතිකරණ දක්ෂතා සමඟින් ඔහු ඉදිරියේ දී ඉන්දීය සීමිත පන්දුවාර කණ්ඩායමේ මැදපෙළ ශක්තිමත් කිරීමට යොදවා ගත යුතු යැයි මතයක් ද මේ වන විට ඉන්දීය ක්‍රිකට් රසිකයින් තුළ ගොඩනැගෙමින් ඇති බවත් විශේෂයෙන්ම නිරීක්ෂණය කළ හැකි කරුණක්.

ඉන්දීය – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර විස්සයි විස්ස තරගාවලියේ සිව්වැනි තරගය හෙට (12) පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<