සංගීත්ගේ දැවැන්ත ඉනිම නිසා සැරසන්ස් ජය මාවතට

1076
SLC premier league

දේශීය ක්‍රිකට් පිටියේ තරු එකිනෙක ගැටෙන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය අද (14) ආරම්භ විය. එහිදී මුල් දිනයේ වැඩි වාසිය තමන් සතුකර ගැනීමට සැරසන්ස් ක්‍රීඩකයින් සමත් විය.

පසුගිය ලිපි: උදාරගේ පිත්තත්, සහන්ගේ පන්දුවත් රාගමට ජය ගෙනෙයි

අද උදෑසන කොළඹ තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී ආරම්භ වුනු මෙම තරගයේදී කාසියේ වාසිය දිනාගත් සැරසන්ස් නායක හර්ෂ කුරේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව ඉනිම ආරම්භ කළ ඉරෝෂ් සමරසූරිය ලකුණු 28ක් රැස් කල අතර දේශීය ක්‍රිකට් පිටියේ අද දිනය තමා නමින් ලියාගත් තවමත් 21 හැවිරිදි යොවුන් පිතිකරුවෙකු වන සංගීත් කුරේ ලකුණු 189ක අතිවිශිෂ්ට ඉනිමක නිරත විය. ඔහුගේ ඉනිම දැකුම්කළු හතරේ පහර 18කින් සහ දැවැන්ත හයේ පහර 3කින් වර්ණවත් විය.

ඔහු සැරසන්ස් පිළේ වමත් පිතිකරු, කෞෂල්‍ය ගජසිංහ හා එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 245ක සබඳතාවයක් පැවැත්වූයේ රාගම ක්‍රිකට් සමාජයෙන් ජයග්‍රහණයේ බලාපොරොත්තු බොහෝ දුරට ඈත් කරමිනි. කෞෂල්‍ය ගජසිංහ හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 99ක් රැස් කර සිටියදී අමිල අපොන්සුගේ පන්දුවක් හමුවේ ලහිරු මිලන්ත අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේ අවාසනාවන්ත අයුරිනි. පන්දු යැවීමේදී තිලක්ෂ සුමනසිරි ලකුණු 33ට කඩුලු 3ක් ද, අමිල අපොන්සු ලකුණු 79ට කඩුලු 3ක් ද බිඳ හෙලූහ.

ප්‍රථම දිනය තුලදී තමන් අපේක්ෂා කලාටත් වඩා හොඳ ලකුණු සංඛ්‍යාවක් කරා ගමන් කිරීමට හැකි වීම නිසා සැරසන්ස් ක්‍රීඩකයින් මේ වනවිටත් ධනාත්මක ආකල්පයක සිටින බැවින් තරගය තමා කෙරෙන් ගිලිහෙන්නට නොදී තබා ගැනීමට නම් රාගම පිතිකරුවන්ට හෙට දිනයේදී ඉතාමත් හොඳින් පිතිකරණයේ යෙදීමට සිදුවේ.

සැරසන්ස් ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 370 (පන්දුවාර 90): සංගීත් කුරේ 189, කෞෂල්‍ය ගජසිංහ 99, ඉරෝෂ් සමරසූරිය 28, මිලින්ද සිරිවර්ධන 22, හර්ෂ කුරේ 11, තිලක්ෂ සුමනසිරි 3/33, අමිල අපොන්සු 3/79.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට