කෙටිදුර පිටියේ ශූරයන් ලෝක සහය දිවීමේ තරගාවලියෙන් ඉවත් වෙයි

300
No World Relays for Jamaica

මැයි 1 සහ 2 දිනවල පෝලන්තයේ දී පැවැත්වීමට නියමිත “ලෝක සහය දිවීමේ තරගාවලිය” සඳහා ජැමෙයිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී නොවන බව එරට මලල ක්‍රීඩා සංගමය විසින් දන්වා තිබෙනවා.

පස්වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා සිය කණ්ඩායම සහභාගි නොවන බව දැනුම් දෙමින් ජැමෙයිකානු මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කර සිටියේ කොරෝනා වසංගතය නිසාවෙන් පනවා ඇති සංචරණ නීති නිසා ඔවුන් මෙවර තරගාවලියට සහභාගි නොවන බවයි.

“කොරෝනා වසංගතය නිසා පනවා ඇති සංචරණ සීමා නිසා මෙම තරගාවලියට සහභාගි වීම ජැමෙයිකානු ක්‍රීඩකයන්ට සහ බලධාරීන්ට ඉතාමත් අපහසු දෙයක් වෙලා. එම නිසා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඊට සම්බන්ධ පාර්ශවයන් වෙනුවෙන් මෙම තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළා” යැයි එම නිවේදනයේ සඳහන් වුනා.

මීට පෙර ජැමෙයිකානු මලල ක්‍රීඩා සංගමය විසින් මෙම තරගාවලිය සඳහා 39 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කිරීමට කටයුතු කළ අතර එම සංචිතය සඳහා Elaine Thompson Herah සහ Asafa Powell ද ඇතුළත්ව තිබුණා.

තවත් ක්‍රීඩා පුවත්:

එමෙන්ම පෝලන්තය තුළ ඉහළ යන කොරෝනා වසංගත වාර්තා වීම් නිසා ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව ද මෙම තරගාවලියට සහභාගි නොවීමට තීරණය කළ බව ද මීට පෙර ප්‍රකාශ කර සිටියා.

ලෝක සහය දිවීමේ තරගාවලියේ වඩාත් සාර්ථකම දේශයන් ද්විත්වය වන ඇමරිකාව සහ ජැමෙයිකාව මේ දක්වා පැවති තරගාවලිවල දී පිළිවෙළින් සමස්ත පදක්කම් 31 සහ 19 බැගින් දිනාගෙන තිබෙනවා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<