රිය අනතුරෙන් පසුව පළමු වරට Pantගෙන් ප්‍රකාශයක්!

449

පසුගිය වසරේ දෙසැම්බර් 30 වැනිදා රිය අනතුරකට මුහුණ දීමෙන් තුවාල ලැබූ ඉන්දිය කඩුලු රකින පිතිකරු Rishabh Pant අනතුරෙන් පසුව ප්‍රථම වරට සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඔහු විසින් twitter පණිවිඩ කිහිපයක් ම නිකුත් කර ඇති අතර, ඒවායින් ගෙවුණු කාලයේ ඔහුට නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට ස්තුතිවන්ත වී තිබෙනවා.

දෙසැම්බර් 30 වැනිදා උදෑසන 5.30ට පමණ සිය නෑදෑයින් බැලීමට යමින් සිටිය දී ඔහු ගමන් ගත් මෝටර් රථය අනතුරට පත් වී ගිනි ගෙන දැවී ගිය අතර, ඒ මොහොතේ දී අසල ගමන් ගනිමින් සිටි බස් රථයක රියදුරු සහ කොන්දොස්තර මහත්වරුන් දෙදෙනෙක් තවත් පිරිසකගේ සහය ද ඇතිව Pantගේ ජීවිතය අනතුරුදායක තත්වයෙන් මුදවා ගැනීමට සමත් වූ අතර පසුව ඔහුව ඒ අසල පිහිටි ළඟම රෝහලට යවනු ලැබුවා.

“මට හැම කෙනෙකුට ම වෙන් වෙන් වශයෙන් ස්තුති කරන්න නො හැකි වේවි, නමුත් මගේ අනතුර සිදු වූ වෙලාවේ මට උදව් කරමින් මාව රෝහලක් වෙත ආරක්ෂිතව යොමු කළ මෙම වීරයින් දෙදෙනා පිළිගත යුතුයි. Rajat Kumar සහ Nishu Kumar ඔබ දෙදෙනාට ස්තුතියි. මම ඔබට සදාකාලිකව ණය ගැතියි සහ කෘතඥ වෙනවා.”

Pant මුහුණ දුන් අනතුරෙන් පසුව පළමුව ඔහුව Saksham රෝහල වෙතත්, පසුව Dehradun හී Max රෝහල වෙතටත් මාරු කර යැවූ අතර ජනවාරි 04 වැනිදා ඔහුව Dehradun සිට Mumbai වෙත ගුවන් මගින් යවා තිබුණේ අවශ්‍ය වූ සැත්කම් සහ ඉදිරි ප්‍රතිකාර ලබා දීම වෙනුවෙනුයි.

එමෙන්ම පසුගිය 07 වැනිදා ඔහුගේ දණහිස්වලට සැත්කමක් සිදු කර ඇති අතර සති හයකට පසුව තවත් සැත්කමක් සිදු කිරීමට ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සිය සෞඛ්‍ය තත්වය පිළිබඳව ද අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ තමන් සුව වීමට පටන් ගෙන ඇති බව සහ ඔහුට ලබා දුන් සහයෝගය වෙනුවෙන් BCCI, Jay Shah සහ රාජ්‍යය ආයතන වෙත ස්තුතිය ද පුද කරන බවයි.

“ලබා දුන් සහයෝගයට සහ සුබ පැතුම් වෙනුවෙන් මම නිහතමානීව කෘතඥ වෙනවා. මගේ සැත්කම සාර්ථක වූ බව ගොඩක් සතුටින් දැනුම් දෙන්න කැමතියි. සුව වීමේ මාවතට දැන් එළඹිලයි ඉන්නේ, ඉදිරි අභියෝග වෙනුවෙන් මම දැන් සූදානම්. BCCI, Jay Shah සහ රාජ්‍යය ආයතන ලබා දුන් සහය වෙනුවෙන් ස්තුතියි.”

“ඔබේ කාරුණික වචන වෙනුවෙන් සහ මට ලබා දුන් දිරි ගැන්වීම් වෙනුවෙන් මගේ රසිකයින්ට, මගේ කණ්ඩායම් සගයින්ට , වෛද්‍යවරුන්ට වගේම භෞතචිකිත්සකවරුන්ටත් මගේ හදවත පතුලෙන් ම ස්තුතිවන්ත වෙනවා. ක්‍රීඩා පිටියේ දී ඔබ සැම මුණ ගැහෙන්න මම බලාපොරොත්තු වෙනවා.”

නමුත් දැන ගැනීමට ලැබෙන ආකාරයට Pant ගේ බලාපොරොත්තුව ඉටු වීමට තවත් කාලයක් ඔහුට බලා හිඳීමට සිදු වනු ඇත.

හිටපු BCCI සභාපති සහ වත්මන් Delhi Capitals කණ්ඩායමේ සභාපති ධුරයක් හොබවන Sourav Ganguly විසින් මීට පෙර පවසා තිබුණේ Pant හට මෙවර IPL තරගාවලිය මග හැරී යනු ඇති බවයි.

“Rishabh Pant මෙවර IPL තරගාවලිය වෙනුවෙන් ලබා ගත නො හැකි වේවි. මෙය හොඳ IPL තරගාවලියක් වේවි (Delhi Capitals කණ්ඩායමට), නමුත් Rishabh Pantගේ ආබාධය කණ්ඩායමට බලපෑමක් එල්ල කරාවී.”

එමෙන්ම ඊට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය ද ඔහුට මග හැරී යනු ඇති අතර, දැනට ඉන්දීය මාධ්‍ය මගින් වාර්තා කරන පරිදි 2023 වසරේ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලි බොහෝමයක් (එක්දින ලෝක කුසලානය ද ඇතුළුව) ඔහුට මග හැරී යනු ඇත.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN Cricinfo සහ Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<