Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන දෙකක ලංසුවක්

2579

හෙට (19) දිනයේ පැවැත්වීමට නියමිත Cristiano Ronaldo සහ Lionel Messi එකිනෙකා මුණ ගැසෙන සුහද පාපන්දු තරගය නැරඹීම සඳහා වෙන් වූ ටිකට් පතක් ඇමරිකානු ඩොලර් මිලියන 2.6ක මුදලකට ලබා ගැනීමට සෞදි ව්‍යාපාරිකයෙක් කටයුතු කර තිබෙනවා.

පෘතුගාල පාපන්දු ක්‍රීඩක Cristiano Ronaldo විසින් නායකත්වය දරන පාපන්දු කණ්ඩායමක් සමඟ වත්මන් පාපන්දු ලෝක ශූරයකු සහ Ronaldoගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වන Lionel Messi ක්‍රීඩා කරන PSG (Paris saint – Germain) කණ්ඩායම් අතර හෙට දිනයේ දී සුහද පාපන්දු තරගයක් පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය සඳහා Ronaldoගේ නවතම ක්‍රීඩා සමාජය වන Al Nassr සහ Al Hilal කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් Ronaldoගේ නායකත්වයෙන් යුතුව ඉදිරිපත් වීමට නියමිත අතර, එය Al Nassr සමඟින් එක් වීමෙන් පසු Ronaldo ක්‍රීඩා කරන පළමු තරගය ද වනු ඇත.

මීට ටික දිනකට ඉහත දී Cristiano Ronaldo විසින් Al Nassr ක්‍රීඩා සමාජය සමඟ 2025 වසර තෙක් ඇමරිකානු ඩොලර් මිලියන 214ක ගිවිසුමක් අත්සන් කළ අතර හෙට තරගයෙන් පසුව ලබන ඉරිදා (22)  Ronaldo Al Nassr ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් නිල වශයෙන් සිය පළමු තරගය ක්‍රීඩා කරනු ඇත.

හෙට පැවැත්වීමට නියමිත සුහද පාපන්දු තරගයට අදාළ ටිකට් පතක් ඊයේ දිනයේ වෙන්දේසි කළ අතර, එම වෙන්දේසියෙන් ලැබෙන මුදල් සෞදියේ ලාබ නොලබන පුණ්‍ය ව්‍යාපාරයක් (Charity Campaign) වන Ehsan වෙත ලබ දීමට නියමිතව තිබුණා.

මෙම ටිකට් පත දිනා ගන්නා තැනැත්තාට තරගයට සහභාගී වන ක්‍රීඩකයින් සමඟ ඡායාරූපය ගැනීමේ අවස්ථාව සහ තවත් විශේෂ වරප්‍රසාද ගණනාවක් හිමි වන අතර වෙන්දේසිය අවසානයේ Mushref Al – Ghamdi නම් ව්‍යාපාරිකයෙක් විසින් එම ටිකට් පත ඇමරිකානු ඩොලර් මිලියන 2.6ක මුදලකට හිමිකර ගෙන තිබුණා.

හෙට පැවැත්වෙන තරගයේ දී PSG නියෝජනය කරමින් Lionel Messi සහ ඊට අමතරව නිමා වූ ලෝක කුසලානයේ කැපී පෙනෙන දස්කම් දැක්වූ Kylian Mbappe සහ Achraf Hakimi යන අය ද ප්‍රේක්ෂකයින්ට දැක බලා ගැනීමට ඉඩ ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම Ronaldoගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට ද ගියවර ලෝක කුසලානයේ ආජන්ටිනා කණ්ඩායමට එරෙහිව සෞදිය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය රැස් කිරීමට සමත් වූ Salem Al Dawsari ද එකතු වනු ඇති බවයි වාර්තා වන්නේ.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරෙනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<