Pandyaට ලෝක කුසලානයේ ඉදිරි තරග අහිමි වෙයි!

ICC Cricket World Cup 2023

727
Hardik Pandya out of the cwc23

පාදයේ ඇති වූ ආබාධයක් නිසා ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක Hardik Pandya හට ලෝක කුසලානයේ ඉදිරි තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. 

මේ දිනවල ඉන්දියාවේ දී පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන ඉන්දීය සංචිතයේ ප්‍රධානතම තුරුම්පුවක් ලෙස සැලකිය හැකි Hardik Pandya පසුගිය ඔක්තෝබර් 19 වැනිදා බංග්ලාදේශය සමඟ පැවැත්වුණු තරගය අතරතුර දී ආබාධයකට ලක් වුනා. 

බංග්ලාදේශ ඉනිමේ සිය පළමු පන්දුවාරය ක්‍රියාත්මක කරමින් සිටිය දී තමා වෙත ආ පන්දුවක් නතර කිරීමට යාමේ දී Pandya සිය වම් පාදයේ වළලුකර ආබාධයකට ලක් වූ අතර, එම නිසා ඔහුට එම තරගය සහ ඊට පසු ඉන්දියාව ක්‍රීඩා කළ සියලු තරඟ මග හැරී ගියා. 

එම ආබාධය තවමත් සම්පූර්ණයෙන්ම සුව වී නොමැති අතර මේ නිසා ඔහු බැංගලෝර් හි ජාතික ක්‍රිකට් ඇකඩමියේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ. මේ අනුව එක්දින ලෝක කුසලානයට නම් කළ ඉන්දීය සංචිතයෙන් Pandya ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක Prasidh Krishna සංචිතයට ඇතුළත් කර තිබෙනවා.  

මීට පෙර Prasidh ද පිට කොන්දේ ආබාධයකට ගොදුරු වීම නිසා සැලකිය යුතු කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත් වී සිටි අතර ඔහු නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසුණේ ඉන්දියාවේ අයර්ලන්ත තරග සංචාරයේ දීයි.

ඉන්පසුව ඔහු ඕස්ට්‍රේලියාව සමඟ එක්දින තරගාවලියට ද ක්‍රීඩා කළ අතර එහි දී ඔහු කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා. මේ වන විට ඉන්දියාව නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර තරග 17ක් ක්‍රීඩා කර ඇති Prasidh එහි දී කඩුලු 29ක් දවා ගැනීමට සමත් වී තිබෙනවා.

කෙසේ වෙතත් Hardikගේ අඩුව සපුරාලීමට Prasidhට හැකි වේ ද යන්න නම් ගැටලුවක්. Pandya ආබාධයට ලක් වීමෙන් පසුව ඉන්දියාව ක්‍රීඩා කළ තරගවල දී (නවසීලන්තය, එංගලන්තය සහ ශ්‍රී ලංකාව සමඟ) ඔහුගේ අඩුව පිරවීම වෙනුවෙන් නිත්‍ය පිතිකරුවෙකු ලෙස Suryakumar Yadav සහ නිත්‍ය පන්දු යවන්නෙකු ලෙස Mohammed Shami කණ්ඩායමට ඇතුළත් කිරීමට (Shardul Takur කණ්ඩායමෙන් ඉවත් කරමින්) සිදු වීමෙන් Pandyaගේ  වටිනා කම පිළිබඳ අදහසක් ලබා ගත හැකි.

එසේ කණ්ඩායමට පැමිණි Yadav මෙතෙක් ක්‍රීඩා කළ ඉනිම් තුනේ දී ලකුණු 105ක් ලබා ගැනීමට සමත් වී ඇති අතර, Shami විසින් මෙම තරග තුනේ දී පන්දුවාර 22ක් පමණක් යොමු කරමින් කඩුලු 14ක් දවා ගැනීමට සමත් වී තිබෙන්නේ 6.71ක අසාමාන්‍ය සාමාන්‍යයක් ද සමඟිනුයි. 

මේ අතර ඉන්දීය කණ්ඩායම මෙතෙක් ලෝක කුසලානයේ ක්‍රීඩා කළ තරග හත ම ජයග්‍රහණය කරමින්, ලකුණු සටහනේ පෙරමුණ ද ලබා ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් පළමු කණ්ඩායම බවට පත් වීමට ද සමත් වුනා. 

ඔවුන්ගේ මීළඟ තරගය හෙට (05) දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට නියමිත අතර මෙම තරගයෙන් ජයග්‍රහණය කරනා කණ්ඩායම ලකුණු සටහනේ මුල් ස්ථානය ස්ථිර කර ගැනීමට වැඩි ඉඩක් පවතිනවා.

2023 එක්දින ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<