Home Sinhala ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට තවත් දැවැන්ත පරාජයක්

ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට තවත් දැවැන්ත පරාජයක්

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

291

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (02) පැවති තරගයෙන් ලකුණු 303ක ජයක් ලබා ගැනීමට ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයින් සමත් වුනා.

මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සිදු කරමින්, පෙර තරගය ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා වෙනුවට දුෂාන් හේමන්ත කණ්ඩායමට කැඳවා තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා තරග හයකට සහභාගී වී තරග දෙකක් පමණක් ජයග්‍රහණය කර තිබෙන නිසා තරගාවලියේ ඉදිරිය ගැන සහ 2025 ශූරයින්ගේ කුසලානය ගැන බලාපොරොත්තු තබා ගැනීමට මෙම තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් වුනා.

තරගය ක්‍රීඩා කරන කණ්ඩායම්,

  • ශ්‍රී ලංකාව: දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (නායක), සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිවුස්, චරිත් අසලංක, දුෂාන් හේමන්ත, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ඩිල්ෂාන් මදුශංක.
  • ඉන්දියාව: Rohit Sharma(c), Shubman Gill, Virat Kohli, Shreyas Iyer, KL Rahul, Suryakumar Yadav, Ravindra Jadeja, Mohammed Shami, Jasprit Bumrah, Kuldeep Yadav, Mohammed Siraj.

තරගාවලිය පුරාවටම නව පන්දුවෙන් සාර්ථක වූ ඩිල්ෂාන් මදුශංක මෙම තරගයේ පළමු පන්දුවාරයේ දී ඉන්දීය නායකයා පිටියෙන් ඉවත් කළේ ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමටත් පෙරයි.

නමුත් පසුව ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දුර්වල උඩ පන්දු රැකීම් නිසා ජීවය ලබා ගත් Shubman Gill සහ Virat Kohli දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 189ක වටිනා සම්බන්ධතාවක් ගොඩ නැගුවා.

ලකුණු 92ක් ලබා සිටි Shubman Gill සිය ශතකය සම්පූර්ණ කිරීමට පෙර සිය දෙවැනි කඩුල්ල ලෙස දවා ගැනීමට මදුශංකට හැකි වූ අතර ලකුණු 88ක් ලබා සිටි සුපිරි ක්‍රීඩක Virat Kohli ද ඩිල්ෂාන් මදුශංක හමුවේ දැවී ගියා.

ලකුණු 12ක් ලබා සිටි මැදපෙළ ක්‍රීඩක KL Rahul දවා ගනිමින් සිය තරගාවලියේ පළමු කඩුල්ල දවා ගැනීමට දුෂ්මන්ත චමීරට හැකි වුනේ ඉන්දීය මුළු ලකුණු පුවරුව 276ක් වන විටයි.

Suryakumar Yadav ලකුණු 12ක් ලබා සිටිය දී දවා ගැනීමට ඩිල්ෂාන්ට හැකි වූ අතර අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 82ක් රැස් කළ Shreyas Iyer දවා ගනිමින් සිය කඩුලු 5 සම්පූර්ණ කර ගැනීමට ඩිල්ෂාන් මදුශංක සමත් වුනේ එක්දින ක්‍රිකට් තරගයක පළමු වරට කඩුලු 5ක් දවා ගනිමිනුයි.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් Ravindra Jadeja ලබා ගත් ලකුණු 35 නිසා ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 357ක් රැස් කළා.

අගනා පන්දු යැවීමක නිරත වූ ඩිල්ෂාන් මදුශංක නියමිත පන්දුවාර 10 තුළ ලකුණු 80ක් ලබා දෙමින් කඩුලු 5ක් දවා ගත්තා.

ලකුණු 358ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 3ක් තුළ දවා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයින් සමත් වුනේ දිමුත්, පැතුම් සහ සදීර ලකුණු නොලබා සහ කුසල් මෙන්ඩිස් එක් ලකුණකට පිටියෙන් ඉවත් කරමිනුයි.

පන්දු 24කට මුහුණ දෙමින් එක් ලකුණක් ලබා සිටි චරිත් අසලංක සහ දුෂාන් හේමන්ත ලකුණු නොලබා පිටියෙන් ඉවත් කිරීමට Mohammed Shami සමත් වුනේ ලකුණු 14ක් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 6ක් පිටියෙන් ඉවත් කරමිනුයි.

ශ්‍රී ලංකාව විශාල පරාජයට ඇද දමමින් දුෂ්මන්ත චමීර ලකුණු නොලබා සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 12කට පිටියෙන් ඉවත් කිරීමට Mohammed Shamiට හැකි වුනා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කසුන් රාජිත ලකුණු 14ක් ලබා සිටිය දී Mohammed Shamiගේ පස්වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූ අතර ලකුණු 5ක් සිටි ඩිල්ෂාන් මදුශංක දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 55කට සීමා වුනා.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසර තුළ එක්දින තරගයක ලකුණු 80ට අඩුවෙන් දැවී ගිය තෙවැනි අවස්ථාව වීම ද විශේෂත්වයක්.

ඒ සමඟින් මෙම තරගය ලකුණු 303කින් දැවැන්ත ලෙස ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැක ගැනීමට ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයින්ට හැකි වුනා.

Result


India
357/8 (50)

Sri Lanka
55/10 (19.4)

Batsmen R B 4s 6s SR
Rohit Sharma b Dilshan Madushanka 4 2 1 0 200.00
Shubman Gill c Kusal Mendis b Dilshan Madushanka 92 92 11 2 100.00
Virat Kohli c Pathum Nissanka b Dilshan Madushanka 88 94 11 0 93.62
Shreyas Iyer c Mahesh Theekshana b Dilshan Madushanka 82 56 3 6 146.43
KL Rahul c Dushan Hemantha b Dushmantha Chameera 21 19 2 0 110.53
Suryakumar Yadav c Kusal Mendis b Dilshan Madushanka 12 9 2 0 133.33
Ravindra Jadedja run out (Sadeera Samarawickrama) 35 24 1 1 145.83
Mohammed Shami run out (Kusal Mendis) 2 4 0 0 50.00
Jasprit Bumrah not out 1 1 0 0 100.00


Extras 20 (b 5 , lb 6 , nb 1, w 8, pen 0)
Total 357/8 (50 Overs, RR: 7.14)
Bowling O M R W Econ
Dilshan Madushanka 10 0 80 5 8.00
Dushmantha Chameera 10 2 71 1 7.10
Kasun Rajitha 9 0 65 0 7.22
Angelo Mathews 3 0 11 0 3.67
Mahesh Theekshana 10 0 67 0 6.70
Dushan Hemantha 8 0 52 0 6.50


Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Jasprit Bumrah 0 1 0 0 0.00
Dimuth Karunaratne lbw b Mohammed Siraj 0 1 0 0 0.00
Kusal Mendis b Mohammed Siraj 1 10 0 0 10.00
Sadeera Samarawickrama c Shreyas Iyer b Mohammed Siraj 0 4 0 0 0.00
Charith Asalanka c Ravindra Jadedja b Mohammed Shami 1 24 0 0 4.17
Angelo Mathews b Mohammed Shami 12 25 1 0 48.00
Dushan Hemantha c KL Rahul b Mohammed Shami 0 1 0 0 0.00
Dushmantha Chameera c KL Rahul b Mohammed Shami 0 6 0 0 0.00
Mahesh Theekshana not out 12 23 2 0 52.17
Kasun Rajitha c Shubman Gill b Mohammed Shami 14 17 2 0 82.35
Dilshan Madushanka c Shreyas Iyer b Ravindra Jadedja 5 6 1 0 83.33


Extras 10 (b 5 , lb 1 , nb 0, w 4, pen 0)
Total 55/10 (19.4 Overs, RR: 2.8)
Bowling O M R W Econ
Jasprit Bumrah 5 1 8 1 1.60
Mohammed Siraj 7 2 16 3 2.29
Mohammed Shami 5 1 18 5 3.60
Kuldeep Yadav 2 0 3 0 1.50
Ravindra Jadedja 0.4 0 4 1 10.00



2023 ලෝක කුසලාන එක්දින තරගාවලියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<