ඇඬුවේ නැහැ, Pandyaට ඇඬුණා!

India Tour of West Indies 2023

3875

ඉන්දියා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පසුගිය බ්‍රහස්පතින්දා (03) දිනයේ නිමා වුනේ ඉන්දීය ක්‍රිකට් රසිකයින්ව සමාජ මාධ්‍යජාලා වල ක්‍රියාශීලී කරවමිනුයි.

මෙම තරගයේ දී ඉන්දීය කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ කිසිවෙකු හෝ බලාපොරොත්තු නොවූ අන්දමේ ලකුණු 4ක පරාජයකට මුහුණ දුන්නා. 

මෙහි දී කොදෙව්වන් විසින් ලබා දුන් ලකුණු 150ක ඉලක්කය හඹා යමින් සිටි ඉන්දීය ඉනිමේ 15 වැනි පන්දුවාරය නිමා වන විට ඔවුන්ගේ ලකුණු පුවරුවේ කඩුලු 4කට ලකුණු 113ක් සටහන් වී තිබූ අතර ඔවුන්ට ජයග්‍රහණය සඳහා පන්දු 30කින් ලබා ගැනීමට අවශ්‍ය වී තිබුණේ ලකුණු 37ක් පමණයි. 

ඒ වන විටත් ඉන්දීය නායක Hardik Pandya කඩුල්ලේ රැඳී සිටි අතර, අනෙක් පසින් Sanju Samson නායකයාගේ සහයට රැඳී සිටියා. 

නමුත් ඉන්දීය ඉනිමේ 16 වැනි පන්දුවාරය මේ සියලු තත්වයන් උඩු යටිකුරු කිරීමට හේතු වූ අතර Pandya සහ Samson දෙදෙනා ම නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට කොදෙව්වන් විසින් සමත් වුනා. 

එතැන් පටන් තරගය සම්පූර්ණයෙන්ම කොදෙව් ග්‍රහණයට නතු වූ අතර ඉන්දීය පසුපෙළට නියමිත ඉලක්කය වෙත පිවිසීමට හැකි වුනේ නැහැ. 

කෙසේ වෙතත් මෙම තරගයේ දී ඉන්දීය වරම් ලබා ගත් Tilak Varma විසින් ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වුනා. ඔහුගේ ඉනිම පිළිබඳ හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවෙක් පිළිබඳ ඉන්දීය රසිකයින්ට පැහැදීමක් ඉතිරි නොවූ තරගයක් ලෙසයි එය අවසන් වුනේ.

විශේෂයෙන්ම Hardik Pandya විසින් ඉනිමේ පස් වැනි පිතිකරු ලෙස Sanju Samsonව ද පිටුපසට ඇද දමමින් පිතිකරණයේ යෙදීමට පැමිණීම බොහෝ රසික විවේචන වලට භාජනය වුනා. 

“දුර්වල කළමනාකාරිත්වයක්, Sanju ඉනිම අවසන් කරන්නෙකු නෙවෙයි. මට තේරුම් ගන්න බැහැ ඇයි Hardik Pandya තමන්ව වැඩිපුර පාවිච්චි කරන්නේ කියලා. 

කරුණාකරලා කවුරු හරි ඔහුට කියන්න මේ IPL නෙවෙයි කියලා.” 

“නායක Hardik Pandya සීමා ඉරේ සිටින වෙලාවේ ඉන්දියාවට පන්දු 30කින් ලකුණු 37ක් පමණයි අවශ්‍ය වුනේ. මේ තැන ඉඳලා ඔවුන් තරගය පරාජය වුනා.” 

මීට අමතරව තරගය පරාජය වීමෙන් පසුව ද මුහුණේ සිනහවක් රඳවා ගත් නායක Pandya විසින් තරුණයින් පරාජය වීමෙන් ඉගෙන ගන්නා තාක් තමන් තරග ප්‍රතිඵලය පිළිබඳ වද නොවෙනා බව පැවසූ අතර එය ද ඉන්දීය රසිකයින් ව නොසතුටට පත් කරවන අන්දමේ ප්‍රකාශයක් වුනා. 

“තරුණ ක්‍රීඩකයින් වැරදි මගින් ඉගෙන ගනී වී කියලා Hardik Pandya කියනවා. 

මේ ප්‍රකාශය දෙස බලන්න. ඉන්දියාවේ හොඳම ක්‍රීඩකයා වුනේ මංගල තරගය ක්‍රීඩා කළ Tilak Varma. පන්දු 30කින් ලකුණු 37ක් ලබා ගත යුතුව තිබුණු මොහොතේ Pandya විසින් ම එම හඹායෑම ව්‍යර්ථ කළා. 

ඔබේ ක්‍රීඩකයින් එයට හසු නොකර, එහි වගකීම බාර ගන්න.” 

“ඔවුන් මට කියන්නේ Hardik Pandya කියලා. 

මම තරගයට වඩා මම ගැන සැලකිලිමත් වෙනවා. 

මම මට පන්දු යවන්න අවශ්‍ය වෙන වෙලාවට පන්දු යවනවා. 

මට මට ඕන තැන පිතිකරණයේ යෙදෙනවා. 

මම Sanjuට වඩා උඩින් මාව එවනවා. 

‘කණ්ඩායමට මොනවා වුනත්, මට වීරයෙක් වෙන්න ඕන.’ මේ තමයි මගේ අවංක ප්‍රවේශය.” 

මෙම තරගය පරාජය වීම පිළිබඳ බොහෝ දෙනෙකුගේ චෝදනාව Pandyaගේ දෙසට යොමු වූවත් තරගයෙන් අනතුරුව Pandya නම් පවසා සිටියේ තරුණ කණ්ඩායම් අතින් මෙවැනි අඩුපාඩු සිදු වන බවයි.

නමුත් අනාගතයේ දී ඔවුන් කණ්ඩායමක් ලෙස හොඳින් ගොඩනැගෙනු ඇති බවත් ඔහු විසින් සඳහන් කර තිබුණා. එමෙන්ම හෙට (06) පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි විස්ස තරගයේ දී ද තවදුරටත් පරීක්ෂණ මට්ටමේ කණ්ඩායමක් ක්‍රීඩා කරවන බවටයි ඔහු විසින් ඉඟි සපයා තිබුණේ. 

මේ අතර පළමු විස්සයි විස්ස තරගයේ දී අඩු පන්දුවාර වේගයක් (Slow Over Rate) පවත්වා ගැනීම නිසා ඉන්දියාවට තරග ගාස්තුවෙන් 5% දඩයක් (එක් පන්දුවාරයක පමාව නිසා) සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක් (පන්දුවාර දෙකක පමාව නිසා) ද ICC විසින් නියම කර තිබෙනවා. 

අවාසනාවන්ත තරග පරාජයක් සහ දඩ නියම වීම නිසා ඉන්දීය කණ්ඩායමට මෙය එතරම් ම හොඳ තරගයක් බවට පත් වුනේ නැහැ. නමුත් මේ අතරම ඉන්දීය නායක Hardik Pandya විසින් මෙම තරගය ආරම්භ කිරීමට පෙර මුහුණ දුන් සිදුවීමක් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වෙමින් පවතිනවා. 

මෙම තරගය ආරම්භ කිරීමට පෙර දෙරටේ ක්‍රීඩකයින් ක්‍රීඩා පිටියේ එක් වී දෙරටේ ජාතික ගී වාදනය කරන අවස්ථාවට සහභාගී වුනා. 

එහි දී ඉන්දීය ජාතික ගීය වාදනය කරන අතරතුර Pandya විසින් සිය ඇස් පිස දාන ආකාරය දකින්නට ලැබුණා. ඉන්දීය නායකයා ලෙස සිය රටේ ජාතික ගීය වාදනය වන අතරතුර සංවේදී වීම මීට පෙර ද දකින්නට ලැබුණු සිදුවීමක්. 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දු – පාකිස්තාන තරගයට පෙර එවකට ඉන්දීය නායක Rohit Sharma විසින් ද මේ අයුරින් සංවේදී වූ බව කැමරා කාචයට හසු වී තිබුණා. 

මෙවර එය Hardik Pandyaට ද සිදු වූ බව පිරිසක් පවසද්දී, තවත් පිරිසක් මෙම සිදුවීමේ සංවේදී භාවය නැත්තට ම නැති කර දමමින් විවිධ උපහාසාත්මක ප්‍රකාශ සිදු කරමින් සිටිනවා. 

” Hardik Pandya ජාතික ගීය අතරතුර සංවේදී වෙයි.” 

“සහෝදරයා ඒ දූවිලි පොඩ්ඩක් නිසා.” 

“තරගාවලිය අතරතුර මූලික අවශ්‍යතා සපුරාලීමේ අඩුව නිසා Hardik Pandya සංවේදී වෙලා.” 

“බටහිර ඉන්දීය කොදෙව් ජාතික ගීය ඇසීමෙන් Hardik Pandya සංවේදී වෙලා.” 

කෙසේ වෙතත් එය ඇත්තම කඳුළක් ද, නැතිනම් දූවිලි නිසා ද යන්න දන්නේ Pandya පමණයි. 

ඉන්දීය – බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Hindustan Times ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<